හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන තව ත් කරුණු හෙළිවෙයි…

හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන තව ත් කරුණු හෙළිවෙයි…

කර්තෘ Staff writer

22 Mar, 2019 | 8:39 pm

COLOMBO (News 1st) – හම්බන්තොට ඉදිකිරීමට සූදානම්වන තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳව අප ඊයේ අනාවරණය කළෙමු.

මේ පිළිබඳව අද තව ත් කරුණු රැසක් අනාවරණයවී තිබේ.

අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් ලෙස යෝජනාවී ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව සිටින්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් පාර්ක් ඉන්ටනැෂනල් නමැති සමාගමකි.

ඔවුන් ව්‍යාපෘතියේ වටිනාකමින් 30% කට ඕමාන තෙල් හා ගෑස් අමාත්‍යාංශය සම්බන්ධ වන බව සඳහන් කළත් ඊයේ අප කළ අනාවරණය අනුව ඕමානය මෙවැනි ව්‍යාපෘතියකට ආයෝජනය කර නැතැයි පවසා ඇත.

මෙතරම් විශාල ආයෝජනයක් ඕමානය වැනි ඛනිජ තෙල් නිෂ්පාදන රටක සම්බන්ධයක් නොමැතිව ක්‍රියාත්මක කළ හැකි ද?

සිල්වර් පාර්ක් ඉන්ටනැෂනල් සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර තිබුන ද එහි කොටස් හිමිකාරිත්වය ඉන්දියාවේ එකොර්ඩ් නමැති සමාගමකට අයත් බව අප ඊයේ අනාවරණය කළේ, රොයිටර් වාර්තාවක් උපුටා දක්වමිනි.

එම ඉන්දීය සමාගම අයත්වන්නේ තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වන එස්. ජගත්රාක්ෂගන් නමැත්තෙකුටයි.

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට සුදානම්වන සිංගප්පූරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් මෙම ඉන්දීය දේශපාලඥයාගේ ඥාතීන් බව ද හින්දු පුවත්පත අද අනාවරණය කළේ ය.

සන්දීප් ආනන්ද් නමැති ඔහුගේ පුත්‍රයා, ශ්‍රී නිෂා නමැති දියණිය සහ ජගත්රාක්ෂගන් අනුසුයා නමැති ඔහුගේ බිරිඳ මෙලෙස අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් විය.

මේ අතර ආයෝජන මණ්ඩලය ඊයේ නිවේදනය කළේ, ඕමාන තෙල් හා ගෑස් අමාත්‍යාංශය හා සිල්වර් පාර්ක් සමාගම අතර ගිවිසුමක් නැතැයි තමන් දැන සිටි බවයි.

නමුත් මෙම ව්‍යාපෘතියේ 30% ක් ලබාගැනීම සම්බන්ධයෙන් ඕමානය කැමැත්ත පළ කර තිබූ බව ආයෝජන මණ්ඩලය පවසයි.

ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් සමාගම ව්‍යාපෘතියේ අමුද්‍රව්‍ය සම්පාදනය සහ එකඟතාවකට පැමිණිමෙන් පසුව නිෂ්පාදන අළෙවි කිරීමට කැමැත්තෙන් සිටි බවට තමන් දැනුවත් යැයි ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]