ලංකාවේ මානව හිමිකම් හොයන අමෙරිකාවේ යටගියාව

ලංකාවේ මානව හිමිකම් හොයන අමෙරිකාවේ යටගියාව

by Sagarika Chathumali 21-03-2019 | 9:26 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කතාකරන අමෙරිකාව ඇතුළු යූරෝපා රටවල මානව හිමිකම් වාර්තා අතිශය අපකීර්තිමත් බව ජාත්‍යන්තර විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි. ඔහු පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙටුම්පත්වූ යෝජනාව සැකසීමේදී අමෙරිකාව එහි පෙරමුණ ගෙන සිටින බවයි. මීට අමතරව යෝජනාවේ සහයක රටවල් ලෙස පෙනී සිටින බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, ප්‍රංශය වැනි රටවල මානව හිමිකම් වාර්තා අතිශය අපකීර්තිමත් බව ත් එම රටවල අතීතයන් ලේවලින් ලියවී ඇති බව ත් සමරනායක මහතා පැහැදිලි කළේ ය. තවද අමෙරිකාව ලෝකයේ රටවල් ආක්‍රමණය කරමින් ඒ ඒ රටවල යුද්ධයන් නිර්මාණය කිරීමට  මැදිහත් වූ අකාරය ද සමරනායක මහතා පැහැදිලි කළේ, උදාහරණ ද සහිතවයි. ඒ අනුව ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව හා සිරියාවේ සිවිල් යුද්ධ තත්ත්වයන් නිර්මාණය කළේ අමෙරිකාව බව ඔහු සිහිපත් කළේ ය. එම රටවල යුද තත්ත්වයන්ට මැදිව ජීවිතක්ෂයට පත්වූ සාමාන්‍ය වැසියන්ගේ ජීවිතවලට වගකියන්නේ සහ එම රටවල මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගකීම භාර ගන්නේ කවුරුන්දැයි, ඔහු ප්‍රශ්න කර සිටී. තිස්වසරක බෙදුම්වාදය පරාජය කළ ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කිරීමට ප්‍රථම ඒ ඒ රටවල් සිය රටවල් තුළ පමණක් නොව ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මානව හිමිකම් කඩ කිරීමට කොතරම් දායක වී ඇති දැයි සිහිපත් කර ගත යුතු බව මොහාන් සමරනායක මහතා අවධාරණය කර සිටියේ ය. තව ද අමෙරිකාව ලෝකයේ අණසක තමන් සතු කර ගැනීම සඳහා මානව හිමිකම් මෙවලමක් බවට පත් කර ගෙන සිටින බව ද පැවසී ය. https://www.youtube.com/watch?v=kLjJUKrHwik