"මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා"

මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවට ලබා දී තිබෙනවා - ජනපති මාධ්‍ය අංශය

by Staff writer 21-03-2019 | 9:16 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා සිංගප්පූරුවේ ජීවත් වන්නේ යැයි සැලකෙන අර්ජුන මහේන්ද්‍රන් මහතාව මෙරටට උදර්පනය කරන ලෙස කළ ඉල්ලීම සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන ශ්‍රී ලංකා රජයෙන් ලබා දී නොමැති බවට සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළ බවට වන වාර්තාව මෙරට ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. එහි මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලීමක් 2018 මැයි මස 28 වැනි දින සිදු කර ඇති බව ය. ඒ සම්බන්ධව එරට නීතිපතිවරයාගේ අවධානය ද යොමු වී ඇති බවට සිංගප්පූරු විදේශ අමාත්‍යංශය මෙරටට දන්වා තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2018 අප්‍රේල් 19 වන දා ජාත්‍යන්තර පොලීසියෙන් නිකුත් කළ රතු වරෙන්තුව ද සිංගප්පූරු රජය වෙත ඉදිරිපත් කර ඇති බව ය. ඒ අනුව මෙය සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශයක් ලෙස පිළිගත නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.