ජනපතිගෙන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙසක්...

"කුඩා දරුවන් උත්සව සහ වැඩසටහන්වලට සහභාගී කරවන්න එපා.."

by Staff writer 21-03-2019 | 5:47 PM
COLOMBO (News 1st) : 8 වසරෙන් ඉහළ දරුවන් පමණක් පාසල් උත්සව සහ වැඩසටහන් සඳහා සහභාගී කරවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබේ. දිඹුලාගල, වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම උපදෙස දී ඇත්තේ, උත්සව සහ වැඩසටහන්වලට 8 වසරෙන් පහළ කුඩා දරුවන් සහභාගීකරවීමේදී ඔවුන් පත්වන අසීරුතාවන් පිළිබඳ අවධානය යොමු කරමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රට තුළ දැනට පවතින වන ඝනත්වය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එක්ව කැප නොවුණහොත්, තවත් වසර 15 කින් අපට වනාන්තර අහිමි වී යනු ඇති බවයි. දැනට ඉතිරිව ඇති 28% ක් වන, වන ඝනත්වයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ උතුරු , නැගෙනහිර ප්‍රදේශවල වන අතර එම ප්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වුවත්, යුද්ධය නොමැති ප්‍රදේශවල වන පද්ධතිය දේශපාලනඥයින් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශ කර ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ,  රටේ වන ඝනත්වය 32% ක් දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ පාසල් දරුවන් ඇතුළු සියලු පුරවැසියන් එක්විය යුතු බවයි.