by Sagarika Chathumali 20-03-2019 | 9:41 PM
COLOMBO (News 1st) : මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සිංගප්පුරුවේ සිටින්නේ යැයි සැකකරන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පනය නොකිරීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළේ ය.
මේ පිළිබඳව සිංගප්පුරු මාධ්‍ය ද එරට රජයෙන් විමසීමට පටන්ගෙන තිබේ.
සිංගප්පුරු මාධ්‍ය වාර්තාකරන්නේ පෙනෙන පරිදි චෝදනාවට ලක්වු අයෙකු අදාළ රටට භාරදීමට එරට රජය මැළිකමක් දක්වන බවයි.
ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කරන්නේ සිංගප්පුරුව විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් අදාළ උදර්පනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමට ශ්‍රීලංකා රජය අපොහොසත් වී ඇති බවත් ය.
එරට රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් ඒ.එෆ්.පී පුවත් වාර්තා කරන්නේ මහේන්ද්‍රන් නැවත ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සපුරාලීම සඳහා සිංගප්පුරුවේ නීතියට අනුව වුවමනා තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබාදී නොමැති බවයි.
එසේ භාරදෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ජනතාව සිංගප්පුරුව අගය කරනු ඇති බව ද සඳහන් ය.
අසල්වැසි රාජ්‍යකට අත්‍යවශ්‍ය උපකාරයක් නොකර සිටීම සිංගප්පුරුවේ පියා ලෙස සැලකෙන ලී ක්වාන් යුගේ දර්ශනයට එරෙහිවීමක් බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යන් වන සිංගප්පුරුව හා ශ්‍රී ලංකාව අතර උදර්පනය සඳහා ප්‍රමාණවත් නීතිරීති පවතියි.
ලන්ඩන් ස්කීම් සම්ප්‍රදාය අනුව උදර්පනය කළ හැකි වරදක් ලෙස සැලකෙන්නේ දෙවසරකට වඩා සිරදඩුවමක් ලැබිය හැකි අපරාධයක් සඳහා අවශ්‍ය පුද්ලයෙකු තවත් රටකින් ඉල්ලා සිටින අවස්ථාවකයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම සිංගප්පුරුව විසින් නොසලකා හරිනවා මෙන්ම බැඳුම්කර වංචාව සඳහා වන වෝහාරික විගණනය ද දිනෙන් දිනම කල්යමින් පවතී.
ඩේලිමිරර් පුවත්පත වාර්තා කරන්නේ වෝහාරික විගණනය සදහා අන්තර්ජාතික ප්‍රවීණයන් තෝරාගැනීමේ වැඩපිළිවළ පිළිබද වාර්තාවක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාස තුනක් තුළදී ඉල්ලා ඇති බවයි.
බැඳුම්කර කොමිසම් වාර්තාව නිකුත්වී මාස 15ක් ගතවී ඇතත් අදාළ වෝහාරික විගණනය මෙතෙක් ඇරඹී නොමැත.
වෝහාරික විගණන 6ක් සඳහා දැන්වීම් පළකර ඇති අතර ඉන් හතරක් සඳහා අදාළ අනුමත කිරීමේ ලිපි දැනටමත් යවා අවසන් ය.
පස්වැන්න සඳහා ලිපි නුදුරේම යවනු ඇති. කෙසේ නමුත් හයවැනි වෝහාරික විගණනය දිගින් දිගටම ප්‍රමාද වේ.
ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ 6 වැනි විගණනය සඳහා නැවතත් මුල සිට කටයුතු කිරීමට සිදුවන බවයි.
ජනපති කොමිසමක්....
බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට 2017 ජනවාරි 27 වන දා ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කළේ ය.
මාස 11ක් පුරා සිදු කළ දීර්ඝ පරීක්ෂණයකින් පසු කොමිසම් වාර්තාව 2017 දෙසැම්බර් 30 වන දා ජනපති අතට පත් වූ අතර, ජනපතිගෙන් එය නීතිපති අතට පත් විය.
මෙම කොමිසම හමුවේ අනාවරණය වූ ප්‍රධාන කරුණු…
1) අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත වංචනික චේතනාවෙන් යුතුව සංවේදී තොරතුරු සපයා ඇත.
2) මහේන්ද්‍රන්ගේ බැණා වන අර්ජුන් ඇලෝසියස් තම මාමණ්ඩිය සමග ඇති සබඳතාව භාවිත කරමින් අදාළ තොරතුරු ලබා ගැනීම හරහා රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කර ඇති අතර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත අධික ලාභයක් ලැබීම.
3) රවි කරුණානායකට අල්ලස් චෝදනා – මුදල් ඇමති ධූරයත් අහිමි වෙයි.
4) මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි සහ අර්ජුන මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහට වැරදි කරුණු වාර්තා කර ඇත.
කොමිසම ලබා දුන් ප්‍රධාන නිර්දේශ…
1) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුයි.
2) වගකිව යුතු සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
නමුත්, අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කර ඇතත්, සිංගප්පූරුවේ සිටින බව කියන ඔහු සොයා ගැනීමට මේ වන තෙක් රජය අපොහොසත් වී ඇත.
රනිල් වික්‍රමසිංහ තවමත් අගමැති ධූරයේ යෙහෙන් වැජඹෙද්දී, මෙරට දැවැන්තම මූල්‍ය වංචාවට සිව් වසරක් සපිරෙන අතර වගකිව යුත්තන්ට දඬුවම් දීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.
බැඳුම්කර මගඩියේ ඉතිහාසය සැකෙවින්..
මෙරට සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වී මේ වනවිට වසර 4ක් ඉක්ම ගොස් තිබෙ.
මීට සිව් වසරකට පෙර, වසර 30ක කාලයකට රුපියල් බිලියන 1ක බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මහ බැංකුවෙන් දැන්වීමක් පළ විය.
ගනුදෙනුව අතරතුර එහි මුළු වටිනාකම බිලියන 20 තෙක් ඉහළ දමන්නට එවක මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උපදෙස් ලබා දී තිබිණ.
පසුව මහා බැංකු නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධය මධ්‍යයේ එම අගය බිලියන 10 දක්වා අඩු කෙරුණු අතර අදාළ බැඳුම්කරවලින් විශාල ප්‍රමාණයක් ඉහළ පොළියකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ගත්තේ ය.
ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන ලංකා බැංකුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් ලංසු තැබූ අතර මාධ්‍ය ඔස්සේ සියල්ල අනාවරණය වන විට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළේ ය.
වංචාව පිළිබඳව සොයා බැලීමට අගමැති පිටිපන කමිටුව පත් කළ අතර එම කමිටු වාර්තාවට අනුව එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිර්දෝෂී බවට ප්‍රකාශ කෙරිණි.
මෙම වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයක් අරඹන ලෙස එවක කථානායක චමල් රාජපක්ෂ මහතා කෝප් කමිටු සභාපති ඩීව් ගුණසේකරට උපදෙස් ලබා දුන්නේ ය.
අදාළ කෝප් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින එනම්, 2015 ජුනි 26 වන දා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.
“තමන් කළේ අගමැතිවරයා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් බවට” දිවුරුමකට යටත්ව හිටපු මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශයක් අදාළ වාර්තාවේ තිබූ බව පසුව හෙළි විය
https://www.youtube.com/watch?v=8zPEYKL6yns