ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

by Staff writer 20-03-2019 | 7:57 AM
COLOMBO (News 1st) - තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. තරගය කේප්ටවුන්හිදී පැවැත්විණි. කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 134කි. ඊයේ තරගයේදී ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 වරම් හිමි කර ගත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16ක් රැස් කළේ ය. කමිදු මෙන්ඩිස් පන්දු 29කදී ලකුණු 41යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් හා 6 පහර 2ක් ඇතුළත් ය. ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 16ක් හා තිසර පෙරේරා ලකුණු 19ක් රැස් කළහ. ධනංජය ද සිල්වා ලකුණු 14ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඉසුරු උදාන ලකුණු 12යි. පන්දු යැවීමේදී ඇන්ඩිලි ෆිලෙක්වායෝ ලකුණු 25ට කඩුලු 3ක් දවා ගත්තේ ය. අනතුරුව ලකුණු 135ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 58ක් රැස් කර ගෙන සිටියේ ය. තරගයේ 15වන පන්දුවාරය භාර ගත් ඉසුරු උදානගේ පළමු පන්දුවාරයේදී ඩේවිඩ් මිලර් ලකුණු 15ක් රැස් කළේ සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කර ගනිමිනි. නැවතත් තරගයේ 16 වන පන්දුවාරයේදී තවත් ලකුණු 14ක් දකුණු අප්‍රිකා කණ්ඩායමට එක්වීමත් සමග ඔවුන්ගේ ඉලක්කය පන්දු 24කදී ලකුණු 18ක් ලෙස දැක්විණි. කෙසේ වෙතත් ඉසුරු උදානගේ මුල් පන්දුවාර දෙකේදී ලකුණු 28ක් උදුරා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත් වූ නමුත් අවසන් පන්දුවාරයේ පන්දු 6 ලකුණු 4කට සීමා කර ගත් ඉසුරු උදාන තරගය සම කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. එහෙත් අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල අතින් ඉතාමත් පහසු දුවද්දී දැවීයාමක් මග හැරීම හේතුවෙන් තරගය සම වූ අතර එම අවස්ථාවේදී ඩේල් ස්ටේන් දවා ගැනීමට දික්වැල්ල සමත් වූයේ නම් තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව පැවතිණි. කෙසේ වෙතත් තරගයේ ලකුණු සම වීමෙන් අනතුරුව ජයග්‍රහකයින් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට විනිසුරුවන් තීරණය කළ අතර ඒ අනුව සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි පන්දුවාරයේදී ඩේවිඩ් මිලර් ලකුණූ 13ක් සහ රාසි වැන්ඩසන් එක් ලකුණක් රැස් කළ අතර ඒ අනුව ඔවුන් සුපිරි පන්දුවාරයේදී ලකුණු 14ක් රැස් කළේ ය. අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරාට සහ අවිශ්ක ප්‍රනාන්දුට ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි පන්දුවාරයේදී ලබා ගත හැකි වූයේ ලකුණු 04ක් පමණි. දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග තරග 1 ට 0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ හිමි කර ගත්තේ ය.