ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින් කප්පාදු කරයි

ඔස්ට්‍රේලියාව සිය රටට ඇතුළු වීමට අවසර දෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව 15%කින් අඩු කෙරේ

by Staff writer 20-03-2019 | 12:44 PM
(News 1st) - ඔස්ට්‍රේලියාව එරටට වාර්ෂිකව පැමිණීමට අවසර දෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව 15%කින් කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සමග නව සංක්‍රමණිකයින්ට වසර තුනක කාලයක් එරට විශාලතම නගර වන මෙල්බර්න්, පර්ත්, සිඩ්නි හෝ ගෝල්ඩ් කෝස්ට්හි ජීවත් වීම ද තහනම් කර ඇති බව ය. ඒ අනුව වාර්ෂිකව සංක්‍රමණිකයින් 190000කට සිය රටට පැමිණීමට ඉඩ දුන් ඔස්ට්‍රේලියාව මින් පසු එය 160000 ක් දක්වා සීමා කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු නවසීලන්තයේ දේවස්ථාන දෙකකට වෙඩි තබා බැතිමතුන් 50 දෙනෙකු ඝාතනය කර ඇති පසුබිමකදී ඔස්ට්‍රේලියාව සිය සංක්‍රමණික ප්‍රතිපත්තියේ නව වෙනස් කිරීම් ප්‍රකාශයට පත් කළේ ය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කළේ, මෙය සිය පුරවැසියන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හමුවේ ගත් පියවරක් බව ය. ශීඝ්‍රයෙන් ඉහළ යන නිවාස මිල සහ නගරවල ජනාකීර්ණභාවය යොදා ගනිමින් පහළ යන සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රතිපත්ති වෙනස් කළ බව ඇතම්හු පෙන්වා දෙති. මෙම කප්පාදුව නව ස්කිල්ඩ් වීසා ඔස්සේ ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව ඇතුළු වන සංක්‍රමණිකයින් 23000කට ද බලපානු ඇති. වාර්ෂිකව ස්කිල්ඩ් වීසා කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වන පුද්ගලයින් 23000කට මුල් වසර 3 ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුනෙන් ඉවත දිවිගෙවා පසුව ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කළ හැකි බව ද අග්‍රාමාත්‍ය මොරිසන් ප්‍රකාශ කළේ ය. මේ යටතේ අනාගතයේ ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කරන පුද්ගලයින්ට සිය පදිංචිය සහ සේවා ලිපිනයට අදාළ තොරතුරු තහවුරු කිරීමට සිදු වනු ඇතැයි ඔස්ට්‍රේලියා සංක්‍රමණ අමාත්‍යවරයා අවධාරණය කරයි.