සූදුවලට සම්බන්ධවූවන් ක්‍රිකට් මුල් පුටුව දැරුවේ කෙසේ ද?

by Staff writer 19-03-2019 | 10:14 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, තම සහෝදරයා සූදු ව්‍යාපාර සම්බන්ධයෙන් බදු ගෙවන බව ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ය. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් පළ කළේ ය.
"අපේ ක්‍රීඩා පනතේ තියෙනවා සූදු ව්‍යාපාරවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නම් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බැහැයි කියලා. එතකොට ඒ වගේම ලෝක ක්‍රිකට් කවුන්සිලයෙත් තියෙනවා ආචාර ධර්ම පද්ධතියේ අයි.සී.සී කෝඩ් ඔෆ් එතික්ස් කියන එකෙත් සූදු ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අයට මේවට යෙදෙන්න බැහැයි කියලා. එතකොට දැන් අනිත් පැත්තෙන් බලපුවහම ක්‍රීඩකයෙකුට චෝදනාවක් ආවාම ක්‍රීඩකයාට ක්‍රීඩාංගණයකටවත් එන්ඩ දෙන්නේ නෑ. හැබැයි මේකේ ලැජ්ජැ නැතිකම තියෙන්නේ සුමතිපාල මහත්තයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක ලෝක ක්‍රිකට් කවුන්සිලයට ගිහිල්ලා ඒ මහත්වරුත් එක්ක පින්තූරත් ගන්නවා. ඒක පෙන්නනවා ඒක ප්‍රශ්නයක් නැහැයි කියලා. එයාගේම කටින් එයාගේ තාත්තා සූදු ව්‍යාපාරයේ හිටියා එයාගේ සහෝදරයා සූදු ව්‍යාපාරයේ ඉන්නවා කියන එක පිළිගත්ත එක ගැන මං ඉතාමත් සන්තෝස වෙනවා. මං කණගාටු වෙනවා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට අපි කොච්චර කිව්වත් දැක්කේ නැහැ පෙනුනනේ නැහැ. පෙනුනත් දැක්කේ නෑ වගේ හිටියා. හැබැයි දැන් වෙනකොට අපේ ක්‍රීඩා ඇමතිවරයාට විශාල වගකීමක් තියෙනවා මෙවැනි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලන කමිටුවල ඉන්නවා නම් ක්‍රිකට් පරිපාලනය සුදුසු ද කියන එක ගැන. මේ වගේ ක්‍රිකට් බෝඩ් එකක් තිබිය යුතු ද? මේ වගේ ක්‍රිකට් බෝඩ් එකක් එක්ක කොහොම ද අපේ රට ඉස්සරහට යන්නේ? දැන් හුඟක්ම මේ බුකීවල තියෙනවා තරගත් විකුණනවා. තරග විකුණන පත්තරෙත් ගහන්නේ ඒ කියන්නේ තිලංග සුමතිපාල මහත්තයාගේ අයියා. එතකොට තිලංග සුමතිපාල මහත්තයා තමයි ක්‍රිකට් පරිපාලනයේ හුඟක් වැඩ කරන්නේ. එතකොට එයාට පුළුවන් මේ ක්‍රීඩකයින්ව අනවශ්‍ය දේවල්වලට පොළඹවන්න."