විරෝධතා කිහිපයකින් කොළඹ ගමනා ගමනයට බාධා: සරසවි විරෝධයට ජල ප්‍රහාරයක්

by Staff writer 19-03-2019 | 3:35 PM
COLOMBO (News 1st) -  විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් අද කොළඹ නගරයේ විරෝධතා කිහිපයක් පැවැත්විණි. මේ හේතුවෙන් අද දහවල් මාර්ග රැසක පැවතියේ දැඩි රථ වාහන තදබදයකි. කොළඹ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට රැස්වූ සරසවි සිසුන් විරෝධය පළ කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු කප්පාදුවක් සිදු වන බව පවසමින්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය. සිසුන් ඉන් ඉවත්ව ගියේ වෝඩ් පෙදෙසේ මාර්ගය හරස් කර වාඩි වී පැවැත්වූ විරෝධයකින් පසුව ය. මෙම විරෝධතාව නිසා බොරැල්ල, මරදාන ඇතුළු කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ඇති විය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා දෙමව්පියන් පිරිසක් අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැස්වී තවත් විරෝධතාවක් පැවැත්වූහ. ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය ලබා දීමට ගත් තීරණයට පිටින් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්වී වෙනත් ආකාරවලට එම සිසුන්ට වෛද්‍ය උපාධිය ලබා දීමට උත්සහ කරන බවට චෝදනා කරමිනි. මේ අතර පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් පිරිසක් අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්වී විරෝධය පළ කළහ. මේ හේතුවෙන් ගාලු පාර, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් වසා දැමීමට ද සිදු විය. පිරිස කියා සිටියේ යෝජිත අරුවක්කාලු නවීන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බව ය. අනතුරුව පිරිස අතරින් 7 දෙනෙකුට ජනාධිපති කාර්යාලට ඇතුළු වී ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි. එහිදී ජනාධිපති අතිරේක ලේකම්වරියක සඳහන් කර තිබුණේ, 22 වන දා ජනාධිපතිවරයා පුත්තලම නගරයේ සිදු කරන සංචාරයේදී එම ගැටලු පිළිබඳව පූර්ණ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ය. අනතුරුව විරෝධතාකරුවන් පාගමනින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එහිදී 5 දෙනෙකුට අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවීමට අවස්ථාව ලබා දුන්නේ ය. මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට අද දිනයේම සංදේශයක් මගින් දැනුම් දෙන බවත්, ඉදිරි දිනයකදී සාකච්ඡාවක් ලබා දෙන බවත් ලේකම්වරයා එහිදී පොරොන්දු වූ බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.