විදුලිය විසන්ධියට බලපාන මණ්ඩලයේ සිදු වූ වංචාව

by Staff writer 19-03-2019 | 9:20 PM
COLOMBO (News 1st) - අක්‍රිය වී ඇති නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය මේ වන විටත් ජාතික පද්ධතියට එකතු කර ගැනීමට හැකි වී නොමැත. මේ හේතුවෙන් තවදුරටත් විදුලි කප්පාදු කිරීම් සිදු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ, ජනන යන්ත්‍රය මේ වන විට පණ ගැන්වීමට ක්‍රියා කරමින් සිටින බව ය. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් නිසා අක්‍රිය වූයේ, ඊයේ පෙරවරු 11.00ට පමණ ය. ඒ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වූ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි විදුලිය බිඳ වැටීම් ද සිදු විය. මේ හේතුවෙන් ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකටම විදුලි සැපයීම බිඳ වැටී තිබේ. මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බලපැම් එල්ල විය. මේ රටේ ඉංජිනේරුවරුන් බහුතරයක් සේවය කරන ප්‍රධාන ආයතන 2ක් තිබේ. එනම් ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ලංකා විදුලිබල මණ්ඩලයයි. අමෙරිකානු ඩොලර් බිලියන 1.45ක් වැය කරමින් ඉදිවූ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ අවසන් බලාගාරය 2014 වසරේදී ඉදිකර අවසන් කෙරිණි. ඉන් පසු කිසිදු බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමත් නොවීම හේතුවෙන් මේ වන විට විදුලි හිඟයක් මතුව තිබේ. මහජනතාවවට විදුලිය විකිණීම මගින් මුදල් උපයන ලංකා විදුලිබල මණ්ඩලය, පාරිභෝගිකයා අපහසුතාවට පත් නොවන අයුරින් විදුලිය ලබා දීමට අසමත් වී තිබේ. දීර්ඝ කාලීන ජනන සැලැස්ම පිළිබඳව විමසීමේදී පෙනී යන්නේ බලධාරීන් සහ නිලධාරීන් වෙනම මගක යන බවකි. විදුලිබල මණ්ඩලයේ මෙම වැඩපිළිවෙළ හමුවේ ජනතාවට අඳුරේ අතපත ගෑමට සිදුව තිබේ.