ලක්විජය ජනන යන්ත්‍රය තවමත් අක්‍රියයි...

ලක්විජය ජනන යන්ත්‍රය තවමත් අක්‍රියයි... විදුලිය බිඳවැටීම් තවදුරටත්....

by Sagarika Chathumali 19-03-2019 | 6:43 AM
COLOMBO (News 1st) : ප්‍රදේශ රැසක සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඊයේ දහවල් සිට මෙලෙස විදුලිය බිඳවැටීම් සිදුවන්නේ, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙනි. විදුලි කප්පාදුවකින් තොරව, අඛණ්ඩව විදුලිය සැපයුමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය රවී කරුණනායක මහතා සඳහන් කළේ, අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. යන්ත්‍රය කඩිනමින් යථාතත්ත්වයට පත් කර, පද්ධතියට එක්කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් තවදුරටත් වාර්තා වන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ජනන යන්ත්‍රයේ බිඳ වැටීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම් තවදුරටත් සිදුවන බවයි. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අනියුක්ත කර ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් නිසා අක්‍රිය වීමෙන් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමිවී තිබේ. සුලක්ෂන ජයවර්ධන මහතා පැවසුවේ, මේ හේතුවෙන් මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අභියෝගයක් එල්ල වී ඇති බවයි. මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 78% ක ප්‍රමාණයක් සපුරා ගන්නේ නොරොච්චොලේ ඇතුළු තාප විදුලි බලාගාරවලිනි. එහි දෙවන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීයව පවතින්නේ මධ්‍යම කදුකර ඇතුළු ප්‍රදේශ රැසකට වියළි කාලගුණයෙන් බාධා එල්ල වී ඇති පසුබිමකයි. වියළි කාලගුණය සමග ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශයන්හි ජල මට්ටම් ද මේ වනවිට විශාල වශයෙන් පහත බැස තිබේ. මාවුස්සාකැලේ, කාසල්රී, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල සමනල වැව ජලාශවල 40% ආසන්න ජල මට්ටමකට පහළ බැස ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.