ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇනහිටී

ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇනහිටී

by Staff writer 19-03-2019 | 9:07 AM
COLOMBO (News 1st) : අතුරුගිරියේ සිට කොලොන්නාව ග්‍රීඩ් උපපොළ දක්වා දිවෙන කිලෝවොට් 122 ක රැහැන් මාර්ගයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බලය විසන්ධි විය. විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරු 8.15ට පමණ මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇති බවයි. මෙම තාක්ෂණිය දෝශය හා නොරාච්චෝලේ බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ අක්‍රියවීම අතර සම්බන්ධයක් නැතැයි ද ඔහු පැවසී ය. මේ අතර කුරුණෑගල නගරයේ එක් කොටසකට අද පෙරවරුවේ විදුලි බලය ඇණ හිටියේ ය. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ රාත්‍රී 10 පමණ සිට විදුලිය තිබූ අතර අද පෙරවරු 6 පමණ නැවතත් විදුලිය විසන්ධි වූ බවයි. ගාල්ල, අක්මීමන, හබඉරාදූව, ඉමදූව ආදී ප්‍රදේශයන්වල ද අද උදෑසන 8.30ට පමණ විදුලිබලය විසන්ධි විය. එම ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 8 සිට 10 දක්වා විදුලිය විසන්ධි වී පැවතුණු අතර රාත්‍රී අවස්ථා කිහිපයකදීම විදුලිය විසන්ධි වූ බව අප වාර්තාකරු පැවසී ය. තඹුත්තේගම ප්‍රදේශයට ද අද උදෑසන 8ට පමණ විදුලිය ඇණහිටියේ ය. අප වාර්තාකරුවන් පැවසුවේ, ඒ හේතුවෙන් කර්මාන්තශාලා සහ හොටල්වල දෛනික වැඩකටයුතුවලට බාධා එල්ල වූ බවයි.