ජනපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

ජනපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

by Staff writer 19-03-2019 | 7:36 AM
COLOMBO (News 1st) : පසුගිය වසර 4 ක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන් වේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ, අද පස්වරු 5 දක්වා පැමිණිලි භාර දීමට අවස්ථාව ලබා දෙන බවයි. මේ වන විට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 950කට අධික වේ. ඉන් පැමිණිලි 31කට ආසන්න සංඛ්‍යාවක් මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් ඒකකයට යොමු කර තිබේ. ජනාධිපති කොමිෂමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙතෙක් ලැබී ඇති පැමිණිලිවලින් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ට විරුද්ධව ලැබී ඇති බවයි. එම නිලධාරීන් විසින් සිදුකර ඇති, මිලියන ගණනක මූල්‍ය වංචාවන් සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම පැමිණිලි මගින් දක්වා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා අනාවරණය කළේ, ලැබී ඇති පැමිණිලි දෙස අවධානය යොමු කිරිමේදී දේශපාලඥයින්ට වඩා රාජ්‍ය නිලධාරීන් විවිධ අක්‍රමිකතාවල නිරතව ඇති බවට පෙනී යන බවයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්යය වන්නේ පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීමයි.