ETI අධ්‍යක්ෂවරුන්ගේ විරෝධය ඉවතට, තැන්පත්කරුවන්ගේ නඩු විභාග කිරීම දිගටම

by Staff writer 18-03-2019 | 9:25 PM

COLOMBO (News 1st) - ගනුදෙනුකරුවන් දෙදෙනෙකු විසින් තැන්පත් කළ රුපියල් ලක්ෂ 49 ක මුදලක් ආපසු ගෙවීම පැහැර හැර වංචා කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාගයට ගැනීමට අධිකරණයට නීතිමය බලයක් නැතැයි එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමාගමේ අධ්‍යක්ෂකවරුන් ඉදිරිපත් කළ, මූලික විරෝධය කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද ප්‍රතික්ෂේප කර තිබේ.

මූලික විරෝධය ඉවත දැමූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊ.ටී.අයි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සැකකරුවන් 04 දෙනාට විවෘත අධිකරණය හමුවේ චෝදනා පත්‍ර කියවා දුන්හ. අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී  නියෝග කළේ, නඩුවේ සාක්ෂි විභාගය ලබන මැයි 17 වැනි දා ආරම්භ කිරීමටයි. නඩුව පවරා තිබූ, වෝල්ටර් කිංග්සිලි සහ ඉන්දිකා ලක්මාලි යන ගනුදෙනුකරුවන් දෙදෙනාට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂී ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. ඊටීඅයි සමාගම් සමූහයට විදෙස් ආයෝජකයෙකු මුදල් යොදා ඇතැයි පසුගිය දිනවල ප්‍රකාශ වූවත් මෑතකදී අනාවරණය වූයේ ඊටීඅයි සමාගම හැර ඊඒපී සමාගම් සමූහයේ වෙනත් ආයතනවල ඔවුන් ආයෝජනය කර ඇති බවයි. මෙම ආයෝජනයට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 5 ක් ආපසු හරවා යවා ඇතැයි මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කළේ ය. මේ ඩොලර් මිලියන 5 ක මුදල ආයෝජනයක් ලෙස පැමිණියේ නම් තැන්පත්කරුවන් ඉල්ලා සිටින 10 % ක කොටස ගෙවා දැමීමට අවස්ථාවක් නොතිබුනේ ද?