ලක්විජය ජනන යන්ත්‍රයක් අක්‍රීයවීමෙන් විදුලි සැපයුම ඇනහිටී

by Staff writer 18-03-2019 | 2:14 PM

COLOMBO (News 1st) : නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළි අක්‍රීය වී තිබේ.

මේ හේතුවෙන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම්වලට බාධා එල්ල වී ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් නිසා අක්‍රිය වූයේ අද පෙරවරු 11.00 ට පමණයි. මේ හේතුවෙන් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමිවී ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, මේ හේතුවෙන් මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අභියෝගයක් එල්ල වී ඇති බවයි. පවතින ධාරිතාවය සහ පද්ධතියේ විදුලි අවශ්‍යතාවය පිළිබඳ නිසි ඇගයීමක් සිදු කොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසුවේ ය. කෙසේ වෙතත් මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 78% ක ප්‍රමාණයක් සපුරා ගන්නේ නොරොච්චොලේ ඇතුලු තාප විදුලි බලාගාරවලිනි. බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය 2015 වසරේ ජනවාරි මස සිට 2018 වසරේ අප්‍රේල් 30 දක්වා දින 495 ක කාලයක් ක්‍රියා විරහිතව පැවතියේ ය. දෙවැනි ජනන යන්ත්‍රය ද අලුත්වැඩියා කටයුතු සඳහා නවතා දමා යළි ජනන කටයුතු ආරම්භ කළේ, ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදීයි. මෙලෙස වරින් වර බලාගාරයේ සිදුවන බිඳ වැටීම් හමුවේ අපේක්ෂිත මෙගාවොට් 900 ක ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකිවී නැත. මේ පහළවෙමින් තිබෙන්නේ නොරොච්චෝලේ බලාගාරයත් කාට හෝ විකුණා දැමීමේ පෙර ලකුණු ද?