රත්ගම ඝාතනය: පොලිස් නිලධාරීන් 07 ක් CID අත්අඩංගුවට

රත්ගම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු CID අත්අඩංගුවට

by Staff writer 18-03-2019 | 6:08 PM

COLOMBO (News 1st) - රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියැදුරෙක් ද වන බවයි. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ, උපපොලිස් පරීක්ෂක තිලකරත්න සහ කොස්තාපල් උපුල් රංජිත් ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා සහ උපපොලිස් පරීක්ෂක විරාජ් මධුසංක, කොස්තාපල් සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරී තුෂාර නලින්ද යන සිව්දෙනා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගරගත කර සිටි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 15 ක්. ඉකුත් ජනවාරි 23 වැනි දා එළෙස පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේ, රත්ගම, බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ රසික චින්තක නමැති දෙදෙනෙකි. ඔවුන් පැහැරගෙන යාමට යොදාගත් බව කියන වෑන් රථයක්, කැබ් රථයක් සහ මෝටර් රථයක් ද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.