"මංගල සමග ගනුදෙනු ගැන සිරසෙන් පැහැදිලි කිරීමක්"

"මංගල සමග ගනුදෙනු ගැන සිරසෙන් පැහැදිලි කිරීමක්"

by Hashini De Mel 18-03-2019 | 3:45 PM

COLOMBO (News 1st) - අද ශ්‍රී ලංකා මිරර් ඩොට් කොම් (srilankamirrior.com) සිංහල වෙබ් අඩවියේ "තව ත් ගේමක් ද? මංගල සිරස සමග ගනුදෙනුවක අද රාත්‍රී 10.30" යන සිරස්තලයෙන් ලිපියක් ප්‍රසිද්ධ කර තිබේ.

එහි සඳහන් වන්නේ, මංගල සහ සිරස ප්‍රධානීන් අතර යම් ගනුදෙනුවක් පවත්වාගෙන යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද රාත්‍රී 10.30 ට ඇමතිවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීමට සූදානම් කර ඇති බවයි. අප පැහැදිලිව කියා සිටින්නේ, අප එම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ, මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 30 ක් සම්පූර්ණවීම සහ ඔහු දරණ මුදල් අමාත්‍යධූරය සහ මෙවර ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙනයි. ඒ හැර අමාත්‍යවරයා සහ සිරස අතර ඇති කිසිදු ගනුදෙනුවක් මත නොවේ. අප දන්නා පරිදි මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ, මංගල සමරවීර අමාත්‍යවරයාගේ සමීපතමයෙකුවන රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තායි. මෙම ගනුදෙනුව සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මැදිහත් වූ බව ද එම ලිපියේ සඳහන් කර ඇත. අප දන්නා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇත්ත නම් ඔහු කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂය හැර නොගිය පක්ෂයේ නියෝජ්‍ය නායකයායි. ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම කතාවට සම්බන්ධ කිරීම මවිතයට හේතුවකි. මෙම ප්‍රවෘත්තිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමෙන් ඇතැම්විට අද රාත්‍රී 10.30 ට විකාශයවීමට නියමිත වැඩසටහනට ප්‍රසිද්ධියක් ලබාදීම අරමුණු කරගත්තේ නම් යම් ආකාරයකට තේරුම් ගත හැකියි. නමුත් අප මේ දේ පැහැදිලිව කිව යුතුව ඇත. මංගල සමරවීර සමග සිරසට කිසිදු ගනුදෙනුවක් නැත. අනාගතයේ එවැනි ගනුදෙනුවක් ඇතිවන්නේ ද නැත.