අර්ජුණ මෙරටට ගෙන්වා ගන්න සිංගප්පූරුවෙන් සහය නැහැ

"අර්ජුණ මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරුවෙන් සහයක් නැහැ" - ජනපති

by Sagarika Chathumali 18-03-2019 | 1:53 PM
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර චංචාව පිළිබඳ විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ට ජීවිත තර්ජන පවා එල්ල වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ, එලෙස මරණ තර්ජන එල්ල වූ නිලධාරීන් ජීවිත ආරක්ෂාව පතා රට හැර යාමට පවා තමාගෙන් ඉල්ලීම් කළ බවයි. ජනාධිපතිවරයා කරුණු හෙළි කළේ, අල්ලස් හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම සඳහා කොළඹදී අද පැවති උත්සවයකට සහභාගී වෙමිනි. තවද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටි අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී විවේචනාත්මකව අදහස් පළ කළේ ය. 'වංචා දූෂණ යට ගැසීම සඳහා කොමිෂන් සභා පත් කරන්නේ ය' වැනි ආකල්ප යටතේ පසුගිය සමයේ ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී තිබූ බව ත් එවන් පසුබිමක් යටතේ තමා පත් කළ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ ක්‍රියාකාරීත්වය තුළ ජනාතාව තුළ ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශ්වාසය යළි තහවුරු වූ බව ද ජනාධිපතිවරයා පැවසී ය. අන්තර්ජාතික වරෙන්තු නිකුත් කර තිබියදීත් මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු වන අර්ජුණ මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේ ය. පසුගිය දා සිදුකළ සිංගප්පූරු සංචාරය අතරතුරදී අර්ජුණ මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍යවරයා සමග තමා සාක්ච්ඡා කළ බව ද ජනාධිපතිවරයා උත්සවය අමතමින් සිහිපත් කළේ ය. එහෙත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවෙන් තවමත් පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම සහ ඔහු මෙරටට භාර දීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ සහය අඩුවීම ප්‍රශ්නාර්ථයක් බව ද ජනාධිපතිවරයා පැවසී ය. මේ අතර රාජ්‍ය සේවයේ අල්ලස හා දූෂණය පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒවා තුරන් කිරීමට විවිධ ආණ්ඩු යටතේ විවිධ ආයතන පැවතිය ද සිදුවූයේ, අල්ලස දූෂණය ඉහළ යාම පමණක් බවයි. රජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, පසුගිය දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වෙළෙද ප්‍රචාරණ දැන්වීමක් සැකසීමේදී පවා රාජ්‍ය ආයතනයක නිලධාරීන් අල්ලස් ගෙන තිබූ බවයි. දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව හොරකම දූෂණය, අල්ලසින් තොරව රට සංවර්ධනය කරා ගෙන යාමට සියලු දෙනා කැප විය යුතු බවත් ඒ සඳහා දායක වන ලෙස දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු සියලු ජනතාවගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.