අර්ජුන මහේන්ද්‍රන් ගැන සිංගප්පූරුව ප්‍රකාශයක් කළ යුතුයි, ජනපති කියයි

by Staff writer 18-03-2019 | 7:45 PM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධව තම ප්‍රතිපත්තිය පිළිබඳව සිංගප්පූරුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, අද කොළඹදී අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වමිනි. අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම මෙහිදී අල්ලස් කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබුවේ ය. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දූෂණය වත්කම් බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීතිරීති අනපනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් අනුමැතියෙන් සංශෝධනය කර මෙම නව නීති ඇතුළත් පස් අවුරුදු සැලැස්ම සකස් කර ඇත. ජනපති,
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව අපිට තාම පුළුවන් වෙලා නෑ ප්‍රධාන වගඋත්තරකාරයා අල්ලගන්න. ඒකයි ඇත්ත තත්ත්වය. මම ප්‍රසිද්ධියේ කියන්නට ඕනේ, මම සිංගප්පූරුවට ගියේ එහේ පැවැත්වුණා එක්සත් ජාතිනීගේ පරිසර සමුළුවට ඒ සමුළුවට යාමේ එතරම්ම උවමනාවක් තිබුනේ නෑ. නමුත් ඒ හරහා මම ගියේ බැඳුම්කර වංචාව පිළිබඳව ප්‍රධාන වගඋත්තරකාරයා අපිට භාරදීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ ප්‍රතිපත්තිය කුමක් ද කියලා විමසන්න. මම සිංගප්පූරු ඇගමැතිතුමත් සමග පුද්ගලිකව සාකච්ඡා කළා. ඒතුමා සහ මම මේ ගැන කතා කලා. නමුත් අද වෙනකම් සිංගප්පූරු රජයත් මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් විවෘතව කරලා නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ජාත්‍යන්තර පොලීසියට මේ පිළිබඳව දැනුම් දුන්නා, දැනුම්දීම තුළ රතු නිවේදන නිකුත් කළා. පසුව ප්‍රධාන වගඋත්තරකාරයා ජාත්‍යන්තර පොලීසියට අභියාචනයක් ඉදිරිපත් කළා, ශ්‍රී ලංකාවේ අධිකරණය වැරදි තීරණයක් අරගෙන තියෙන්නේ, මේක දේශපාලන ප්‍රශනයක් ඒ නිසා එයාව අත්අඩංගුවට ගන්න එපා කියලා. ඒ අභියාචනය අනුව විනිශ්චකාරවරයෙක් පත් කළා. ඒ අභියාචනය පරීක්ෂා කරන්න. ඒ විනිශ්චකාරවරයා ඉන්ටපෝල්වලට වාර්තාවක් දුන්නා ඒක ප්‍රතික්ශේප කරලා. මේක තමයි මෙහි තත්ත්වය. සිංගප්පූරු රජය මේ ගැන යම් පසුබෑමක ඉන්නවා කියලා තමයි මට නම් පේන්නේ. එහෙම නැත්තම් සිංගප්පූරු රජය පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ, අපේ රටේ මේ පුද්ගලයා නෑ කියලා.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාවේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවග් අතර බලාත්ම උදර්පණ නීතිය ගැන ඔබ දැනුවත් ද? ඒ ගැන දැනුවත්වීමට පහත සඳහන් වෙබ් අඩවි වෙත පිවිසෙන්න... https://www.lawnet.gov.lk/1946/12/31/extradition-law-2/ http://www.oas.org/juridico/english/mesicic3_jam_london.pdf http://www.oecd.org/site/adboecdanti-corruptioninitiative/39368700.pdf