1996 දින්නත් 2019 ලෝක කුසලානයට අපි සූදානම් ද?

1996 ලෝක කුසලාන ජයට වසර 23 යි: 2019 ලෝක කුසලානයට අපි සූදානම් ද?

by Hashini De Mel 17-03-2019 | 1:02 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකිය.

ඒ, ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානය දිනාගනු ලැබුවේ අද වැනි දිනයකවීම හේතුවෙනි. ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 23 ක්. පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමග යි. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාර්ක් ටේලර් පන්දු 83කදී ලකුණු 74ක් රැස් කළේ ය. ඊට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් ය. රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී අරවින්ද ද සිල්වා විසින් කඩුලු 3ක් දවා ගනු ලැබුවේ ය. සනත් ජයසූරිය, කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කළේ කඩුලු 7ක විශිෂ්ට ජයක් අත්කර ගනිමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළේ ය. ඊට හතරේ පහර 13ක් ඇතුළත් ය. නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් රැස් කළේ ය. එම තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය අරවින්ද ද සිල්වා යි. සනත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර විය. සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරාත්තු මල්ඵල ගන්වමින් එදා ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය තුළ යළි ත් පසක් කරමිනි. නමුත් මෙවැනි ලෝක කුසලානයක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද වන විට සිදු ව ඇත්තේ කුමක් ද? 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට තව ත් ඇත්තේ දින 74 ක් පමණයි. ඒ සඳහා අප සූදානම් ද? ඊයේ අවසන් වූ දකුණූ අප්‍රිකා සංචාරයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ එක්දින තරගාවලි පහම පරාජයට පත් ව තිබේ. 2017 වසරේ සිට නායකත්ය වෙනස් කරමින් දිනෙන් දින පරිහානියට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ලෝක කුසලානයට සූදානම්ද යන්න ගැටලුවකි. මෙවැනි තත්ත්වයක් තුළ තව ත් දින 74 කින් එළැඹෙන ලෝක කුසාලනය වෙනුවනේ අප සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නේ කවදා ද?