පූර්ණ එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහි පූර්ණ එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

by Staff writer 17-03-2019 | 7:55 AM

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ඒ, තරගාවලියේ පස්වන හා අවසන් තරගය ඩක්වත් හා ලුව්සි න්‍යායට අනුව ලකුණු 41 කින් ජය ගනිමිනි. තරගය කේප් ටවුන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3 ක් අවාසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 225 ක්. එක්දින දිවියේ 9 වන අර්ධශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් රැස් කළ අතර ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 31 ක් රැස් කළේ ය. ප්‍රියමාල් පෙරේරා ලකුණු 33 ක් රැස් කළ අතර ඉසුරු උදාන ලකුණු 32 යි. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා කඩුලු 3 ක් දවා ගත් අතර ඉම්රාන් ටහීර් හා ඇන්රිච් නොට්ජේ කඩුලු 2 බැගින් දවා ගත්හ. දිවා /රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයට අවශ්‍ය තරම් පිටියේ ආලෝකය නොතිබීම හේතුවෙන් ලකුණු 226 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි සත්කාරක දකුණු අප්‍රිකා ඉනිම නවතා දැමීමට සිදු විය. ඒ, කේප්ටවුන් පිටියේ එක් විදුලි කුළුණක් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි. ක්‍රීඩාංගණ බලධාරීන් සියලුම විදුලි කුළුණු නිවාදමා සියල්ලම එකවර ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවත් පැය භාගයක කාලයක් තුළදීත් එය ක්‍රියාත්මක කරගත නොහැකි විය. ඒ අනුව තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ අනුව ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 41 කිනි. තරගය නතර කරන විට පන්දුවාර 28 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 135 ක් රැස් කරගෙන සිටියේ ය. දෙවන එක්දින අර්ධ ශතකය වාර්තා කළ එයිඩන් මාක්රම් නොදැවී ලකුණු 67 ක් රැස් කරගෙන සිටි අතර රැසී වෑන් ඩර් ඩසන් නොදැවී ලකුණූ 28 යි.