ජයග්‍රහණයට 23 වසක් සපිරේද්දී ලංකාවේ ක්‍රිකට්?

ලෝක කුසලාන ජයග්‍රහණයට 23 වසරක් සපිරේද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...?

by Staff writer 17-03-2019 | 9:42 PM
COLOMBO (News 1st) ක්‍රිකට් ලෝකයට ම අමතක නොවන මතක රැසක් දායාද කරමින් ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ ඉහළම කුසලානය හිමි කරගෙන අදට වසර 23 කි. ඒ 1996 ක්‍රිකට් ලෝක කුසලානයයි. දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද ශ්‍රී ලංකාව කැන්ගරුවන් පරදා 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගත්තේ ය. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් එලෙස සටහන් කිරිම කෙටිකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් නම් නොවේ. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් හිමිවීමේ සිට ලෝක කුසලානය හිමිකර ගැනීම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය කාලය, ධනය, ශ්‍රමය කැප කළ පිරිස බොහෝයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සැබෑවටම ආදරය කල ජනතාව හා එවකට සිටිය බළධාරීන් 1981 ජූලි 21 වනදින ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් හිමිවීමට පෙර සිටම ඒ සඳහා සුවිශේෂි කාර්ය  භාරයක් ඉටු කළේ ය. නමුත්, 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට 23 වසරකට පසු අත්ව ඇති ඉරණම පිළිබඳ ආපසු හැරී බැලීමට හොඳම දිනය අදයි. 96 ලෝක කුසලානය දිනා ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ, අනා පුංචිහේවා මහතායි.ෙ ආනා පුංචිහේවා මහතාගේ විශිෂ්ට සේවාවෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත් වූවන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නොව සිය තනතුරු වෙනුවෙන් සහ අනෙකුත් ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කළා මිස මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කලේ කුමක් ද යන්න අදටත් ප්‍රශ්නාර්ථයකි. කෙසේවෙතත්, ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයනය තුළ අතුරු පාලක කමිටු පැවැති අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායම අඛන්ඩව තරග හා තරගාවලි ජය ගැනීම කැපී පෙනන කරුණකි. නමුත් 2003 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත බල අරගලයක් හා සූදූවක් බවට පත්විය. ප්‍රධෘන පාර්ශව කිහිපයක, ප්‍රධාන පුද්ගලයින් කිහිපදෙනෙකු තුල මුදල් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බලය වරින් වර දෝලන වන්නට විය. එහි අවසන් ප්‍රතිඵලය වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණමෙන් පිළිඹිබු වේ. පසුගිය සමයේ විකාශන අයිතීන් වෙනුවෙන් මෙරට බැංකු ගිණුම් තුළින් විදේශිය බැංකු ගිණුම් වෙත සංසරණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 500ට අත්වූ ඉරණම තවමත් අභිරහසකි. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණයක් සිදුවන මොහොතක විගනකාධිපතිවරයා පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණීම හරහා එය කොතරම් දුරට බරපතළ තත්ත්වයක් දැයි යන්න පෙනී යයි. අනාගත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුනු කිරීමට ද වත්මන් ක්‍රිකට් පාලකයින්ට නිසි වැඩපිළිවෙලක් ඇති බවක් පෙනෙන්නට නොමැත. 96 ලෝක කුසලානය ඇතුළුව ලෝක ශූරතා ද්විත්වයක් දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා කන්ඩායමට 2019 ලෝක කුසලානයට දින 74 ක් ඉතිරිව තිබියදීත් තවමත් ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් අප සතුව තිබේද යන්න ගැටලුවකි. හිසේ අමාරුවට කොට්ටය මාරු කරන්නාක් මෙන් පසුගිය 2017 වසරේ සිට නායකත්වය වෙනස් කරමින් දිනෙන් දින පරිහානියට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දින 74කින් එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් පවතී ද යන්න ගැටලුවකි. ලෝක කුසලානයට මුහුණ දෙන කණ්ඩායම තෝරා ගැනීම දේශීය තරගාවලියකින් සිදු කිරීමට ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමුව ඇති බව මේ වනවිට වාර්තා වේ. 1996 රට ත්‍රස්තවාදී බියෙන් වෙලෙමින් පවතිද්දී පවා, ජාති ආගම් බේද පසෙක ලා සියලු ශ්‍රී ලාංකිකයන් එක්වුයේ රට ලැබූ අනගි ජය වෙනුවෙනි. වර්තමානේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින පරිහානියට පත්වන යුගයක. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පවා සිය පෞද්ගලික හේතුන් මත කණ්ඩායම තුල ගැටළු ඇති කරගන්නා යුගයක එවන් එකම පැතුමකට වත්මන් ජනතාව ගොනු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හැකි වෙයි ද?