මහ පාරේ රැය පහන් කරන දිරිය මවක්...

දරු දෙදෙනා ජීවත් කරවන්නට මහ පාරේ රැය පහන් කරන දිරිය මව

by Staff writer 17-03-2019 | 9:32 PM
COLOMBO (News 1st) : මා පියවරුන් තම දරුවන්ට යහපත් අනාගතයක් සකස් කර දීමට අනේක විධ කැපකිරීම් සිදු කරයි. හිසට සෙවනක්, කුසට අහරක්, ගතට ඇඳුමක් නොමැතිව දිළිදුකමට අභියෝග කරන එවන් මා පියවරු මේ රටේ ඕනෑ තරම් සිටිති. මහියංගනයේ ගයත්‍රිගේ හා මෙතුන්ගේ කතාව ත් එවන් කතාවලට එක් උදාහරණයක්. මේ පොල් රොටිය, මහමග යන එන කවුරුන් හෝ මිලදී ගතහොත්, එයින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ හා අසරණ මවකගේ කුසගින්න නිවෙයි. එකළොස් හැවිරිදි ගයත්‍රි දිල්ශානී.. පහළොස් හැවිරිදි මෙතුන් දිල්ශාන්.. මහියංගනය සොරබොර මංසන්ධියේ පදික වේදිකාවෙන් දිනපතා එහා මෙහා යන ජනතාවට නුපුරුදු මුහුණු නෙවෙයි. සතුට පිරි ළමා වියකට සෙවණ දුන් මේ දරුවන්ගේ නිවසට අවාසනාව පැමිණියේ ඔවුන්ගේ පියා පිළිකාවක් නිසා මියයෑම හේතුවෙනි. පියාගේ අභාවයෙන් පසු පවුලේ බර කරට ගත් මව, මේ සියල්ලන් වෙනුවෙන් දැඩි වෙහෙසක් දරන්නී ය. උදෑසන කාලයේ දර පළා කීයක් හෝ හරි හම්බ කරගැනීමට වෙහෙසෙන ඇය, රාත්‍රිය පුරා පොල් රොටී විකුණා නිදිවරමින් මහමඟ ගත කරන්නේ දරුවන්ට යහපත් ජීවිතයක් ලබා දිය යුතු නිසයි. අගහිඟකම්වලින් මිරිකෙමින් හෙමි හෙමින් දවස ගෙවන සිය මව ඉතා අසරණ බව හොඳින් දන්නා මේ දරුවන්, සඳමඩලක සිහින හැරදමා, දෛවයේ සරදමට මුහුණ දී සිටිති. ජීවිතය ජය ගැනීමට එකම මග අධ්‍යාපනයයි. ඒ බව දන්නා මේ දරුවන්, හැකි සෑම දිනකම පාසල් යමින්, කළ හැකි උපරිම කැපවීම් කරමින් අකුරු කරන්නේ සිය මවට ශක්තියක් වෙමිනි. ජීවිතය ජය ගන්නට මගක් සොයා ගැනීමට දුක සේ උත්සාහ කරන මේ මල් කැකුළු, බොහෝ දෙනෙකුට ආදර්ශයකි. එහෙත්, ඔවුන්ට පිළිසරණක් නම් අත්‍යවශ්‍යයි. https://www.youtube.com/watch?v=HTqC2dJWgOE