බුම්මාගේ සහායකයින්ට හොර ලේඛන හැදූ තැන වටලයි

කෝටි 25 මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ බුම්මාගේ සහායකයින්ට හොර ලේඛන හැදූ තැන වටලයි

by Staff writer 17-03-2019 | 8:39 PM
COLOMBO (News 1st) : වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන්ට ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා පවත්වාගෙන ගිය ස්ථානය වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජා-ඇල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී එම් ස්ථානය වැටලූ බවයි. එහි තිබී ව්‍යාජ ලේඛන තොගයක් සහ ව්‍යාජ රබර් මුද්‍රා 50ක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. ව්‍යාජ ලේඛන සකස් කිරීමේ නිරත වූ සැකකරුවෙකු ද, අත්අඩංගුවට ගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. රුපියල් කෝටි 25 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්විය. ඔවුන්, කෙනඩි හෙවත් බුම්මා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහායකයින් දෙදෙනකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.