මානව හිමිකම් කවුන්සිල සැසියේදී සිදුවන්නේ කුමක් ද?

එජා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සැබෑවටම සිදුවන්නේ කුමක් ද.?

by Staff writer 17-03-2019 | 7:21 PM
COLOMBO (News 1st) : එළඹෙන සතියේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ මේ වනවිට ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වන නියෝජිත කණ්ඩායම ඉදිරි දින දෙක තුළ ජිනිවා බලා පිටත්ව යාමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් ය. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව ලබන 20 වැනිදා සලකා බැලීමට නියමිතයි. ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති, ඊට අදාළ යෝජනා සම්මතය ලබන 21 වැනිදා දින සලකා බැලීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සිය මතය ප්‍රකාශ කළේ ය. එහිදි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනා 4ක් ඉදිරිපත් කර තිබේ. මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රාහකත්වය නොදැක්විය යුතු යි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය 2015 සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කළ 30/60 දරණ වාර්තාවේ ඇති චෝදනා කිසිවක් ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිනොගත යුතුයි. විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශකයන්ගෙන් සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාව තුළ දෙමුහුන් යුද අධිකරණයක් පිහිටුවීම වැළැක්විය යුතුයි. 2016 අංක 14 දරණ පනතත්, 2018 අංක 05 සහ 24 දරණ පනත් දෙකත් අවලංගු කර ඒ වෙනුවට ලංකාවේ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයේ නව නීති සම්පාදනය කළ යුතුයි. යන්න එම යෝජනා හතරයි. විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටින්නේ, ජිනීවා නුවරින් එවන් අධීක්ෂණයක් සිදුවන විට ශ්‍රී ලංකාව ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් කුමට ද යන්න පිළිබඳවයි. ජාත්‍යන්තර හමුවේ රට අභියෝගයට ලක්ව ඇති පසුබිමක දේශපාලන වේදිකාවේ මේ ආකාර විවිධ මත පළවද්දී, ඉදිරි සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය තුළ සැබෑවටම සිදුවන්නේ කුමක් ද.? මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා.... "මම දකින විදියට ලංකාවට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙන්‍නේ නැහැ මෙකෙන්. යුඑන් ප්‍රඥ්නප්තිය 2015 එකට සමානයි. 20 වැනිදා එතන කතා වෙන්නේ යුඑන් මහකොමසාරිස්ගේ වාර්තාව 2014 දී ලියපු එක එක්ක සසදනකොට මේක ඉතාමත් හුගාක්ම වෙනස් මේ වාර්තාවේ යුඑන් මහකොමසාරිස් කියනවා. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හොද පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම ඒගොල්ලන් කියනවා. ඔයගොල්ලන්ගේ ප්‍රගතිය සැහෙන හෙමින් තමයි තියෙන්නේ. විශේෂයෙන් නඩු විභාග හෙමින් යනවා කියලා.  උදාහරණයක් වශයෙන් තජුඩීන් ඝාතනය ඒ විභාග හිරවෙලා කියලා ඒගොල්ලන් පෙන්වනවා.නමුත් ඒ එක්කම ඒගොල්ලන් පිලිගන්නවා. අපේ ආයතන ශක්තිමත් කියලා. ඉතිං සමස්තයක් වශයෙන් බලනකොට යුන් මහකොමසාරිස්තුමියගේ වාර්තාව මම දකින විදියට ලංකාවට ධනාත්මකයි. කොහොමටත් 2014 දී ලියපු වාර්තාවට වඩා හුගාක් ධනාත්මකයි. ශ්‍රි ලංකාව නියෝජනය කරන අපේ කණ්ඩායමට පුලුවන් යම්කිසි අඩුපාඩු කතා කරන්න. අපිට නැවත අවුරුදු දෙකක් කල් දෙනවා. ඒක කරන්න. යුඑන් මහකොමසාරිසුත් කියන්නේ ඒකයි. ඒයා කියන්නේ හයිබ්‍රිඩ් උසාවිය සහ මේ විශ්විය නිතිය අපි වෙත යොදන්න තියෙන්නේ අපේ උසාවි ක්‍රමය හරියට ක්‍රියාත්මක කලේ නැත්නම්. අපේ උසාවි හරියට ක්‍රියා කලොත් පිටරටින් අපිට බලපෑම් එන්නේ නැහැ"