අගමැතිගෙන් රාජ්‍ය සේවා කොමිසමට කැඳවීමක්...

අගමැතිගෙන් රාජ්‍ය සේවා කොමිසමට කැඳවීමක්...

by Staff writer 17-03-2019 | 8:32 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ සකාච්ඡාවක් සඳහා රාජ්‍ය සේවා කොමිසම තමන් හමුවට කැඳවා තිබේ. කෙසේ වෙතත් පළ වන වාර්තාවන්ට අනුව රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා මෙම සාකච්ඡාවට සහභාගී නොවනු ඇති. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය සේවා කොමිසම උප කමිටු දෙකකින් සමන්විත අතර එහි අධ්‍යාපන උප කමිටුවේ නිලධාරියෙකු ද හෙට අගමැතිවරයා කැඳවූ සාකච්ඡාවට සහභාගීවීමට නියමිත බව වාර්තා වේ. රාජය පත්වන විට ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු 106ක තිබූ අතර මේ වනවිට එම පුරප්පාඩු සංඛ්‍යාව 302 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේදී විදුහල්පතිවරුන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර එහිදී තෝරාගත් විදුහල්පතිවරුන්ගේ ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කළ ද රාජ්‍ය සේවා කොමිසම එම ලැයිස්තුව ප්‍රතික්ෂේප කර තිබේ. අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේ සාකච්ඡාවක් සඳහා තමා හමුවන ලෙස රාජ්‍ය සේවා කොමිසමට දැනුම්දී ඇත්තේ, මෙවන් පසුබිමකදීය. මෙවන් පසුබිමක් තුළදී රාජ්‍ය සේවා කොමිසම කැඳවා තිබීම විශේෂත්වයකි. රාජ්‍ය සේවා කොමිසම දැනුම් දී ඇත්තේ, නැවතත් සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවන ලෙසයි. ජනාධිපතිට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභා කැඳවීමට නොහැකි පසුබිමක් තුළදී අග්‍රමාත්‍යවරයා මෙවන් ස්වාධීන කොමිසමක් තමා හමුවට කැඳවන්නේ කෙසේ ද? යහපාලනය නාමයෙන් පත්කළ ස්වාධීන කොමිෂන් සභාවලට ස්වාධීනව කටයුතු කර ගැනීමට ඉඩ දිය යුතු නොවේ ද? අනෙක් පසින් අග්‍රාමාත්‍යවරයා කැඳවූ පමණින් සාකච්ඡා සඳහා සහභාගී වීමට සූදානමින් සිටින කොමිෂන් සභාවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද ඇත්තේ, ප්‍රශ්නාර්ථයකි.