සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ ද? හත්ථිකුච්ඡි විහාරයේ ද?

by Staff writer 16-03-2019 | 10:17 PM
COLOMBO (News 1st) - වසර 1700ක ඉතිහාස කතාවක් වෙනස් කරමින්, සිරිසඟබෝ කතා පුවත පිළිබඳව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කිරීමට අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වාර්තාවක් සමත් විය. ලංකා ඉතිහාසයේ ඉතාමත් දැහැමි රජෙක් ලෙස විරුදාවලිය ලත් සිරිසඟබෝ රජුගේ භාණ්ඩාගාරික වශයෙන් සේවය කළ ගෝඨාභය කුමරු, රජු නසා රාජ්‍යය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ අතර රාජ්‍ය ලෝභයෙක් නොවූ සිරිසඟබෝ රජු රාජ්‍ය හිමි කර ගැනීමට ඉඩ හැර තපස් වෙස් ගෙන වනගත වූ බව ඉතිහාසයේ සඳහන් ය. රාජ්‍යය හිමි කර ගත් ගෝඨාභය, සිරිසඟබෝ හිස ගෙනවුත් දෙන කෙනෙකුට කහවණු දහසක් දෙන බව අණබෙර යැවූ අතර, ත්‍යාග බලාපොරොත්තුවෙන් ඇතැමුන් අහිංසක මිනිසුන්ගේ හිස සිඳ රජු වෙත ගෙන ගොස් දී ඔවුහු ද මැරුම් කෑ බව ඉතිහාසයේ සඳහන් ය. මේ තත්ත්වය සැලවූ සිරිසඟබෝ රජු සිය හිස ගෝඨාභය කුමරුට රැගෙන යන ලෙස බමුණෙකුට දන් දූන් අතර, එලෙස හිස දන් දුන් ස්ථානය ලෙස ජනප්‍රවාදයේ හා බොහෝ ඉතිහාස ග්‍රන්ථවල සැලකෙන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලේ පිහිටි ස්ථානයයි. නමුත් එම මතය සාවද්‍ය බවට තහවුරු කරමින් සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය රාජාංගනය හත්ථිකුච්ඡි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කිරීමට අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් විය. 2013 වසරේදී ආරම්භ කළ මෙම පර්යේෂණයේදී හත්ථිකුච්ඡි විහාරය ආශ්‍රිතව එතෙක් අනාවරණය කර ගෙන නොතිබූ සෙල්ලිපි 68ක් අධ්‍යයනය කිරීම ඔස්සේ මේ බව සනාථ කර ගෙන තිබේ.