ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු බන්ධනාගාරයට

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 16-03-2019 | 7:59 AM
(News 1st) - නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ඔස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි සැකකරු බ්‍රෙන්ටන් ටැරන්ට් සුදු පැහැති බන්ධනාගාර ඇඳුමකින් අත් විලංගු දමා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා නගා තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අප්‍රේල් 5 වන දා යළි ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. මොහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන සිටී. නවසීලන්ත බලධාරීන් පවසන්නේ, ඔවුන් කිසිවෙකුටත් අපරාධ ඉතිහාසයක් නොමැති බව ය. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගිය අතර, ප්‍රහාරයෙන් මිය ගිය පළමු පුද්ගලයා දාවුත් නබී නමැති 71 හැවිරිදි පුද්ගලයෙකි. මොහු 1980 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ සිට නවසීලන්තයට පැමිණ තිබේ. බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව යන රටවල් පවසන්නේ, මෙම ප්‍රහාරයෙන් තම පුරවැසියන් පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව ය. මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙක් තුවාල ලබා සිටිති. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ප්‍රහාරයෙන් මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව ය. මේ අතර ප්‍රහාරයට පැමිණි බ්‍රෙන්ටන් ටැරන්ට් සතුව ගිනිඅවි 5ක් තිබූ බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය. ඇය කියා සිටියේ, නුදුරේදීම නවසීලන්තයේ ගිනිඅවි නීති වෙනස්වනු ඇති බව ය. ක්‍රයිස්චර්ච් නුවර සියලු ම රජයේ ගොඩනැගිලිවල සියලු ධජයන් නැවත දැනුම් දෙන තුරු අඩකුඹු කර තබන ලෙසට ක්‍රයිස්චර්ච් නගරාධිපතිවරිය නියෝග කර තිබේ. මේ වන විට ක්‍රයිස්චර්ච් නුවර ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර නගරයේ සියලු ම මුස්ලිම් දේවස්ථාන වසා දමා තිබේ.