එම්.කේ. අමිල සභාපති ධූරයෙන් ඉවතට

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ සභාපති එම්.කේ. අමිල ධූරයෙන් ඉවතට

by Staff writer 16-03-2019 | 8:23 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතා එහි සභාපති ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එම්.කේ. අමිල මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කළ බව සඳහන් ලිපිය ඔහුටත්, ඔහුගේ පක්ෂයේ ලේකම්වරයාටත් යොමු කළ බව ය. ඒ සඳහා අනුප්‍රාප්තිකයෙකු නම් කරන්නැයි දැනුම් දුන් බව ද සමන් රත්නායක මහතා සඳහන් කළේ ය. 2013 වසරේ මැයි මස 26 වන දා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට චෝදනා එල්ල වී තිබිණි. එම නිලධාරීන්, ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී හිස්වැසුම් සහ රියැදුරු බලපත්‍ර නොමැතිව යතුරු පැදියකින් ගමන් ගත් තිදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන් දෙදෙනෙකි. පොලීසිය මග හරිමින් සිටි සභාපතිවරයා අධිකරණයට භාර වුණේ, 2013 වසරේ ජුනි මස 04 වන දා ය. ජුනි මස 18 වන දා ඔහු ඇප මත මුදා හැරුණු අතර, සෑම මසකම අවසාන බදාදා ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියේ පෙනී සිටින ලෙස අධිකරණය ඔහුට නියෝග කළේ ය.