රන්ජන් නිසා මම දැඩි අපහසුතාවට පත් වුණා - කථානායක කියයි

by Staff writer 16-03-2019 | 3:22 PM
COLOMBO (News 1st) - කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය හේතුවෙන් තමා දැඩි අපහසුතාවට පත් වූ බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. කථානායකවරයා මේ බව සඳහන් කළේ, අයවැය කාරක සභා විවාදය අද 3 වන දිනට ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ය. ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශ නොකරන ලෙසත් මෙවැනි ප්‍රකාශ කරද්දී කරුණු ඇතුව සිදු කරන ලෙසත් තමා අවස්ථා කිහිපයකදී රන්ජන් රාමනායක මහතාට අවවාද කළ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේ ය. කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ද තමා වෙත නොලැබුණු බව කරු ජයසූරිය මහතා පැවසුවේ ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට රන්ජන් රාමනායක මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් සිදු කරන බවට පොලිස්පතිවරයා විසින් කථානායකවරයාට දැනුම් දී තිබේ.