තිදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර

6 දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් 3 දෙනෙකු මරුට

by Staff writer 15-03-2019 | 11:56 AM
COLOMBO (News 1st) - කොළඹ - කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙළ මැද්දලන්ද ප්‍රදේශයේ අද සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයෙක් මිය ගියහ. අනතුරින් කුඩා දරුවන් 3 දෙනෙක් ද තුවාල ලැබූහ. ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදුව ඇතැයි පොලීසිය පැවසුවේ ය. තුවාල ලැබූවන් අවුරුදු 04, 09 සහ 16 යන වයස්වල පසුවන්නන්. ඔවුන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මිය ගියේ ය. පොලීසිය පැවසුවේ, මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව ය. මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි බාලපුවඩුගේ නුවන් සංජීව මෙන්ඩිස් නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.