ජනපති කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙක්

රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කෙරෙන ජනපති කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙක්

by Staff writer 15-03-2019 | 7:08 AM
COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කර ඇති එම සාමාජිකයින් දෙදෙනා වන්නේ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්.පී. ධර්මවර්ධන මහතා හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරි මහතායි. ඔවුන් දෙදෙනා එලෙස පත් කර ඇත්තේ, කොමිසමේ සාමාජිකයින් වන විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පේමතිලක හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූර සඳහා ය. පසුගිය ජනවාරි මස 14 වන දා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය හා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ මහතා කටයුතු කරති. මේ අතර අදාළ කොමිසමට මේ වන විට පැමැණිලි 900ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අත්තනෝමතික ලෙස කටයුතු කරමින් බරපතළ අපයෝජනයක් කර ඇති බවට පැමිණිල්ලක් පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට ලැබී තිබේ. එය යොමු කර ඇත්තේ, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි. එහි දැක්වෙන්නේ, මලික් සමරවික්‍රම මහතා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී ජනතාවගේ මානව හිමිකම් කඩවන අයුරින් ක්‍රියාකරමින් එම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කර ඇති බව ය. මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද මෙම කොමිසමට ලැබී තිබේ. 2016 ජුනි මස 05 වන දා කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් නිවාස හා ගොඩනැගිලිවලට වූ හානිය නිවැරදි ලෙස තක්සේරු නොකළ බවට වූ පැමිණිල්ලක් ද ඊයේ දිනයේ ලැබුණු පැමිණිලි අතර වේ. ලබන 19 වන දා දක්වා පැමිණිලි භාර ගන්නා බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.