බැඳුම්කර වංචාව මගේ වරදක් නෙවෙයි... - අගමැති

by Staff writer 15-03-2019 | 7:40 PM

COLOMBO (News 1st) - බැඳුම්කර වංචාව තම වරදක් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි.

අගමැතිවරයා දිගින් දිගටම බැඳුම්කර වංචාවක් සිදු නොවූ බව කියා පෑමට උත්සාහ කළ අතර ඔහු අනුගමනය කළේ, නැගෙන චෝදනා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියකි. මේ වංචාව ගැන නිව්ස්ෆස්ට් මුල්වරට අනාවරණය කිරීමෙන් පසුව දිගින් දිගටම සමාජ හා දේශපාලන ක්‍රියාකාරීන් ඒ ගැන කතා කරද්දී ජනාධිපතිතුමා විදෙස් සංචාරයක නිරතව සිටි අවස්ථාවක වහා මේ ගැන සොයා බලන්නැයි සිය ලේකම්වරයාට නියෝග කළේ ය. ජනාධිපතිවරයා ක්‍රියාත්මකවීමට පෙර ඉදිරිපත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ හිතවත් නීතිඥවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය. ගාමිණි පිටිපන, මහේෂ් කලුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස්ගේ මේ කමිටුව අවසානයේ සිදු කළේ, රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන මහේන්ද්‍රන් කණ්ඩායමට සුදුහුනු ගෑම පමණි. වංචාව ගැන චෝදනා විමසා බැලීමට අගමැතිවරයා පත් කළ පක්ෂයේ නීතිඥවරුන් තිදෙනාට බැඳුම්කර ගනුදෙනු ගැන කිසිදු දැනුමක් නොතිබී බව රටම දන්නා කරුණකි. වංචාවක් සිදු නොවුනා නම් අගමැතිවරයා බැඳුම්කර ගැන මනා දැනුමක් ඇති කණ්ඩායමක් පත් කර මේ ගැන සොයා බැලීමට උනන්දු නොවුනේ ඇයි ? මේ ගනුදෙනු ගැන කිසිදු දැනුමක් නැති කණ්ඩායමක් පත්කර සකස් කළ පිටිපන වාර්තාවෙන් නොනැවතුන අගමැතිවරයා බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා නැගුන පාර්ශව ද දිගින් දිගටම ආරක්ෂා කළහ. අද ඩේලි මිරර් පුවතපතේ මුල් පිටුවේ සඳහන්ව තිබුනේ, ඊයේ පැවති තම වැය ශීර්ෂ විවාදයේ අවසානයේ පිළිතුරු කතාව කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වංචාව තම වරදක් නොවන බව ප්‍රකාශ කළ බවයි.