UPDATE: නවසීලන්තයේ සිදු වූ වෙඩි තැබීමෙන් 49 ක් මරුට: තවත් 20කට බරපතළයි

by Staff writer 15-03-2019 | 8:38 AM
UPDATE : නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය. මෙලෙස මිය ගොස් ඇත්තේ සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේවමෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසකි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අල් නූර් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට තිබේ. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් නොවූ බවත් තම කණ්ඩායම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය. ගිනිඅවි කිහිපයකින් සන්නද්ධව මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු, ඉවක් බවක් නොමැතිව දේවස්ථානය තුළ සිටි සියලු දෙනා ඉලක්ක කර වෙඩි තබන අයුරු දැක්වෙන ඔහු විසින්ම පටිගත කළ විඩියෝ පටයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය. වෙඩි තැබීමෙන් අනතුරුව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සියලු මුස්ලිම් දේවස්ථාන තාවකාලිකව වසා දමන ලෙස එරට බලධාරීහු නියෝග කළහ. නවසීලන්ත පොලිස් නිලධාරීන් මහජනතාවට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, සිද්ධිය වාර්තා වූ ප්‍රදේශයේ ගැවසීමෙන් වළකින ලෙස ය. වෙඩි තැබීම වාර්තා වීම හමුවේ මේ වන විට ක්‍රයිස්චර්ච්හි සියලු පාසල් වසා දමා ඇති අතර, ගුවන්තොටුපොළ ඇතුළු නගරයේ ආරක්ෂාව තර කර ඇතැයි නවසීලන්ත පොලීසිය නිවේදනය කළේ ය. මේ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ - නවසීලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- 10.05 AM - නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබේ. ඒ, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් අනතුරුව ය. සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු නවසීලන්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. රුසියානු RT පුවත් සේවය සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව ය. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත් සඳහා අල් නූර් නමැති දේවස්ථානයේ රැඳී සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බව කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. නවසීලන්ත පොලීසිය පැවසුවේ, හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බව ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- 8.38 AM - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආසන්නයේ රැඳී සිටියදී, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ. කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බව ය. ප්‍රහාරයෙන් දේවස්ථානය තුළ සිටි කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර නොමැත.