කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සාකච්ඡා

කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සාකච්ඡා

by Staff writer 15-03-2019 | 9:56 PM

COLOMBO (News 1st) - කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින් එකඟතාව පළ කර තිබේ.

ඒ, කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දහවල් එරට ජනාධිපති උහුරු කෙන්යාටා මහතා හමු වූ අවස්ථාවේදීයි. නායකයින් දෙදෙනාගේ නිල හමුව එරට ජනාධිපති මන්දිරයේදී පැවති අතර ජනාධිපතිතුමාව එහිදී ඉතා උණුසුම් ලෙස කෙන්යා ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවේ ය. එක හා සමාන පරිසරයක් සහ අත්දැකීම් සහිත දෙරටම වර්තමානයේ එක හා සමාජ අභියෝගයන්ට මුහුණදී ඇති බැවින් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවන් රැසක් පවතින අතර දෙරටේ ජනතාවටම පුළුල් ප්‍රතිලාභ ලැබෙන ලෙස එම සබඳතා ශක්තිමත් කිරීමට රාජ්‍ය නායකයින් දෙපළගේ අවධානය යොමු විණි. විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ද නායකයින් එකඟ විය. කෙන්යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ තාක්ෂණික සහය ලබාදෙන ලෙසට කෙන්යා ජනාධිපතිවරයා කළ ඉල්ලීමක ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේ ය.