මලික් ගැන ජනපති කොමිසමට පැමිණිල්ලක්...

සිංගප්පූරු ගිවිසුමේදී ඇමති මලික් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇතැයි ජනපති කොමිසමට පැමිණිල්ලක්

by Hashini De Mel 15-03-2019 | 10:04 PM

COLOMBO (News 1st) - මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ක් බව පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අත්තනෝමතික ලෙස කටයුතු කරමින් බරපතළ අපයෝජනයක් කර ඇති බවට ද පැමිණිල්ලක් ලැබී තිබෙන බව කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එම පැමිණිල්ල යොමු කර ඇත්තේ, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතායි. මලික් සමරවික්‍රම මහතා අදාළ වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී පොදු ජනතාවගේ මානව හිමිකම් කඩවන අයුරින් ක්‍රියා කරමින් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කර ඇති බව එහි සඳහන් විය. මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ සිදු ව ඇති වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ජනාධිපති කොමිසමට ලැබී තිබේ. 2016 ජුනි මස 05 වැනි දා කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් නිවාසවලට හා ගොඩනැගිලිවලට වූ හානිය නිවැරදිව තක්සේරු නොකළ බවට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේයි. ලබන 19 වැනි දා දක්වා පැමිණිලි භාර ගන්නා බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2682587661757121/