විරෝධතා මැද දෙවට වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවතට

වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙදී ගාල්ල, දෙවට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය

by Staff writer 15-03-2019 | 8:14 PM

COLOMBO (News 1st) - ගාල්ල, දෙවට වෙරළබඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඊට ප්‍ර‍දේශවාසීන් විරෝධය පළ කිරීමත් සමග එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල සුදර්මා විදුහල අසළින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවය ආරම්භ කළහ. ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවන අතරතුර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. අනතුරුව ප්‍රදේශවාසීන් විරෝධතාව නවතා වෙරළට පැමිණියහ. එහිදී ද ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. පසුව වෙරළ සංරක්ෂණ නිලධාරීන් පිටව ගොස් ඇත. ඉන් පැය භාගයකට පමණ පසුව යළි ත් වෙරළ සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ ගාල්ල පොලීසියේ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ද සමගිනි. අනතුරුව ඔවුන් ජනතා විරෝධය මැද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කළහ. වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළ තීරයේ යම් සංවර්ධන කටයුත්තක් සිදු කරනවා නම් ඊට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතුයි. නමුත් දෙවට වෙරළ තීරයේ එවැනි අවසරයක් නොමැතිව ඉදිකිරීම් 27 ක් ඇති බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, මීට පෙර එම පුද්ගලයින්ට එම ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දුන් බවයි. නමුත් ලබා දුන් කාලය තුළ එම ඉදිකිරීම් ඉවත් කර නොගැනීම නිසා අද මෙලස අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් විටින් විට ප්‍රදේශවාසීන්ගෙන් ඊට විරෝධතා එල්ල විය. මෙම වෙරළ තීරය තුළ හඳුනාගත් අනවසර ඉදිකිරීම් 27 අද ඉවත් කළ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.