ගෝඨාභය රාජපක්ෂට විදේශ ගතවීමට අවසර

ගෝඨාභය රාජපක්ෂට විදේශ ගතවීමට අවසර

by Staff writer 15-03-2019 | 5:28 PM

COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන 26 වැනි දා සිට ලබන අප්‍රේල් 12 වැනි දා දක්වා විදේශ ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදී තිබේ.

එම කාලය තුළදී විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව කැඳවුවහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට එකගත්වය පළ කරන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරපත් කරන ලෙස ද නියෝග කළ විනිසුරු මඩුල්ල, අධිකරණ භාරයේ ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හැරීමට ද නියෝග කළේ ය. මේ අතර වීරකැටිය, මැදමූලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගරය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 339 ක රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු අද මූලික විරෝධතාවයක් ගොනු කළහ. එම අධිචෝදනා ගොනු කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ ක්‍රියාපටිපාටියට පටහැනි බව ද එම නඩුවේ දෙවන, පස්වන, හයවන සහ හත්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වනු ලැබූහ. නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති ආකාරයට ක්‍රියා නොකර අනවශ්‍ය ලෙස චෝදනා ගොනු කර ඇත්නම් අධිචෝදනා පත්‍රය වැරදි සහගත බවට නිගමනය කිරීමට අධිකරණයට හැකියාවක් ඇති බව ද විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වාදී තිබේ. විත්තිය දැක් වූ එම මූලික විරෝධතාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පිළිතුරු දේශනය ඉදිරිපත් කිරීම සඳහා ලබන 28 වැනි දා නඩුව කැඳවීමට නියෝග කළේ ය. නඩුව සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදී සලකා බැලුණි.