මොරටුමුල්ලේ වෙඩි තැබීම: සැකකරුවෙකු හඳුනා ගැනේ

මොරටුමුල්ලේ වෙඩි තැබීම: සැකකරුවෙකු හඳුනා ගැනේ

by Staff writer 14-03-2019 | 4:41 PM
COLOMBO (News 1st) - මොරටුමුල්ල - පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින් සහ මෝටර් රථයකින් බව හෙළි වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 10.30ට පමණ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් 47 හැවිරිදි දුමින්ද ඉරෝෂන් සහ 20 හැවිරිදි චින්තක සඳරුවන් පරණවිතාන යන අය මිය ගිය බව ය. ඔවුන් මොරටුමුල්ලේ මෝල්පේ ප්‍රදේශයේ සහ ඌරුබොක්ක හේන ගොවිපල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. වෙඩි තැබීමෙන් 47 හැවිරිදි පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා ද තුවාල ලබා තිබේ. රමේෂ් විජයන්ත නමැති ඔහු මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. මිය ගිය 20 හැවිරිදි තරුණයා දැනට තුවාල ලබා රෝහල්ගතව සිටින තරුණයාගේ මිතුරෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමට සැකකරුවන් 4 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු හඳුනාගෙන තිබේ. අදාළ පුද්ගලයින් නිවස ඉදිරිපිට සිටියදී පතරොම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වී තිබේ.