Boeing 737 MAX භාවිතය නතර නොකරන බව අමෙරිකාව කියයි

Boeing 737 MAX වර්ගයේ යානා භාවිතය නතර නොකරන බව අමෙරිකාව කියයි

by Staff writer 13-03-2019 | 8:57 AM
(News 1st) - බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන බව අමෙරිකාව ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ගුවන් නියාමන ඒකකය මේ බව සඳහන් කළේ, ඉතියෝපියාවේදී බෝයිං මැක්ස් වර්ගයේ යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු මිය ගිය පසු ලොව පුරා රටවල් රැසක් එම ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටවූ පසුබිමකදී ය. බෝයිං මැක්ස් ගුවන් යානා පිළිබඳව කළ අධ්‍යයනයකදී එම යානාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවූ අතර ඒ අනුව ඒවා භාවිතය අතහැරීමට කිසිදු පදනමක් නොමැති බව ද අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකයේ වැඩබලන පරිපාලක ඩෑන් ඩ්වෙල් සඳහන් කළේ ය. කෙසේ වෙතත් යුරෝපා සංගමයේ ගුවන් ආරක්ෂණ නියාමන ඒකකය කලාපයේ සියලු ම බෝයිං මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව නතර කිරීමට ඊයේ පියවර ගත්තේ ය. අමෙරිකානු සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් රැසක් ද ඉතියෝපියානු ගුවන් අනතුරට හේතු සොයා යානාවල ආරක්ෂිත භාවය තහවුරු කරන තෙක් බෝයිං මැක්ස් යානා භාවිතය අත්හිටුවන ලෙස අමෙරිකානු ගුවන් නියාමන ඒකකයට බලපෑම් කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකයේ වැඩබලන පරිපාලක ඩෑන් ඩ්වෙල් පවසන්නේ, කිසිදු විදේශික සිවිල් ගුවන් තරණ අධිකාරියක් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සාක්ෂි සපයා නැති බව ය. ඉතියෝපියානු ගුවන් අනතුර සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී බෝයිං මැක්ස් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වුවහොත් කඩිනම් පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය. මේ වන විට බෝයිං මැක්ස් යානා භාවිතය තාවකාලිකව නතර කළ රටවල් අතරට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, චීනය , ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, දකුණු කොරියාව, මොංගෝලියාව, ඕමානය සහ මැලේසියාව අයත් ය. ඉතියෝපියානු, නෝර්වීජියානු ඇතුළු ගුවන් සේවා ගණනාවක් ද බෝයි මැක්ස් වර්ගයේ යානා භාවිතය අත්හිටුවීමට පියවර ගත්තේ ය. ලොව වැඩිම ගුවන් මගීන් ගණනක් සහිත රටවල් 10 අතරින් තවමත් බෝයිං මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර කර නැත්තේ අමෙරිකාව සහ ජපානය පමණි. මේ හමුවේ සිය මෘදුකාංග යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව බෝයිං ආයතනය ඊයේ ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ බෝයිං ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩෙනිස් මුලෙන්බර්ග් ඇමතූ අතර, මුලෙන්බර්ග් එහිදී බෝයිං මැක්ස් යානයේ ආරක්ෂාව තහවුරු කර තිබේ. ඉතියෝපියානු ගුවන් අනතුරත් සමග ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන ආයතනය වන බෝයිං ආයතනයේ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 26.65කින් පහත වැටී තිබේ. මේ අතර ඉතියෝපියානු ගුවන් සේවය සඳහන් කළේ, ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් පවුල් වෙත භාර දීමට තවත් දින 5ක් වත් ගත වනු ඇති බව ය. රටවල් 33කට අයත් පුරවැසියන් 157 දෙනෙකු එම අනතුරින් මිය ගිය අතර ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යය මණ්ඩල සේවකයින් ගණනාවක් ද අයත් ය. යානය අනතුරට පත් වීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.