සිව්දින නිල සංචාරයක් සඳහා ජනපති කෙන්යාවට

සිව්දින නිල සංචාරයක් සඳහා ජනපති කෙන්යාවට

by Staff writer 13-03-2019 | 3:10 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවීම සඳහායි. එරට ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සමුළුවට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. පරිසර අභියෝග හා තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ පසුගිය 11 වැනි දා මෙම සමුළුව ආරම්භ වූ අතර එහි සිව්වන සැසිවාරය අනිද්දා නයිරෝබි නුවරදී පැවැත්වීමට නියමිත වේ. සමුළුවේ ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර හෙට දහවල් ජනාධිපතිතුමා සමුළුව අමතා විශේෂ දේශනයක් ද ඉදිරිපත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්‍රෝන් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුම ඊට සහභාගිවීමට නියමිතයි. මෙම සංචාරයේදී ජනාධිපතිතුමා සහ කෙන්යා ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත. 1970 වසරේදී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙන්ම ඉන්දියානු සාගර කලාප ආශ්‍රිත රටවල සංගමයේ සාමාජිකයින් ද වේ.