මානව හිමිකම් කවුන්සිලයට සමඅනුග්‍රහයෙන් යෝජනාවක්

by Staff writer 13-03-2019 | 8:36 PM

COLOMBO (News 1st) - යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කිරීම ඇතුලු මානව හිමිකම් සම්බන්ධ කරුණු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග දිරිමත් කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

ශ්‍රී ලංකාව ද සමඅනුග්‍රහය දක්වමින් මේ දිනවල පැවැත්වෙන 40 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ, 2015 සම්මත කළ යෝජනාවේ ඇතුලත් කරුණු ක්‍රියාත්මක කිරීමට තවදුරටත් කල් ලබා දෙන ලෙසයි. 21 වන දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාව විවාද කිරීමට නියමිතයි. අමෙරිකාව කවුන්සිලයෙන් ඉවත්ව සිටින නිසා බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියා සහ උතුරු අයර්ලන්තය සමග ශ්‍රී ලංකාව සමඅනුග්‍රහයෙන් මෙවර යෝජානව ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රජාතන්ත්‍රික ආයතන මගින් 2018 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම නව යෝජනාවෙන් අගය කර ඇත. අතුරුදන් වූවන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කිරීම ඇතුලු සාධනීය පියවර රැසක් දැනටමත් ගෙන ඇති බැවින් තවදුරටත් සපුරාලිය යුතු කරුණු ඉටු කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයෙන් කල් ඉල්ලා ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රගතිය කවුන්සිලයේ 43 වන සහ 46 වන සැසිවාරවලදී නැවත විමසා බැලීමට නියමිතයි. මේ අතර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙවර සැසිවාරයට සහභාගිවන නියෝජිත කණ්ඩායම නම් කර තිබේ. මහින්ද සමරසිංහ මහතා ජිනීවා කණ්ඩායමේ මූලිකත්වය දරණ බව කළින් ප්‍රකාශ වූවත් ඔහු වෙනුවට මෙවර ඊට සහභාගිවන කණ්ඩායමේ මූලිකත්වය දරන්නේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතායි. ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවීනාත ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පිල්ලෙ යන මහත්වරුන් මෙම කණ්ඩායමට ඇතුළත් ය.