මානව හිමිකම් සැසියට සහභාගී වන කණ්ඩායම නම් කෙරේ

ජිනීවා මානව හිමිකම් සැසියට සහභාගී වීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක්

by Staff writer 13-03-2019 | 11:44 AM
COLOMBO (News 1st) - ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක් නම් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවකදී ය. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නයකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවීනාත ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පිල්ලෙ යන මහත්වරුන් ඊට ඇතුළත් ය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළව නිකුත් කළ වාර්තාව පිළිබඳව ලබන 20 වන දින මාවන හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සලකා බැලීමට නියමිත බව ය. ඊට අදාළ යෝජනා කෙටුම්පත ලබන 21 වන දින සාකච්ඡාවට ගැනෙනු ඇති. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස්, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකාවේ ජිනීවා මෙහෙයුමේ සෙසු අදාළ නිලධාරීන් ද මීට සම්බන්ධ වීමට නියමිත ය.