ගුරු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයෙන් පාසල් කටයුතුවලට බාධා...

by Staff writer 13-03-2019 | 8:51 PM

COLOMBO (News 1st) - පාසල් රැසක අධ්‍යාපන කටයුතු අද අඩාල විය.

ඒ, රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙනි. ගුරු - විදුහල්පති සංගම් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන තිබුණි. 1) වැටුප් විශමතා ඉවත් කිරීම 2) මාස 30 ක හිඟ වැටුප් ලබාගැනීම 3) 2016 දී පත්වීම් ලබාදුන් ගුරුවරුන් සඳහා විශ්‍රාම වැටුප ලබාගැනීම ඉන් ප්‍රධානයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකම පාසල්වල අද අධ්‍යාපන කටයුතු සිදුවූයේ නැත. කොළඹ ප්‍රධානපෙළේ පාසල් වන ආනන්ද, නාලන්ද හා රාජකීය විදුහල්වල ද ගුරුවරුන්ගේ පැමිණීම පැවතියේ ද අවම මට්ටමකයි. නමුත් මාතර රාහුල විද්‍යාලය, අනුර විද්‍යාලය සහ සුජාතා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු සිදු වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළහ. වෘත්තිය සමති ක්‍රියාමාර්ගයට සමගාමීව උතුරු පළාතේ බොහෝ පාසල් ඉදිරිපිට ගුරු - විදුහල්පතිවරු විරෝධතා සංවිධාන කර තිබුණි. ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයක සාමාජිකයින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ද විරෝධතාවයක් සංවිධානය කළහ. ලංකා ගුරු සේවා සංගමය ද අද නුගේගොඩදී විරෝධතාවක් පැවැත් විය. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරන්නේ, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉලක්ක කර ගනිමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතැම් වෘත්තිය සමිති කටයුතු කරමින් සිටින බවයි. වැටුප් විෂමතා ගැටළුවලට විසඳුම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති අවස්ථාවක එය තම වෘත්තිය සංගම්වල ජයක් ලෙස පෙන්වාදෙමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමග යැවීමේ උත්සාහයක ඇතැම් පාර්ශව නිරත වන බව ද අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.