මොරටුවෙන් හමු වූ හෙරොයින් ගැන තොරතුරු හෙළිවෙයි

මොරටුවෙන් හමු වූ හෙරොයින් තොගය ජනවාරි මාසයේ මෙරටට එවා ඇති බවට හෙළිවෙයි

by Staff writer 12-03-2019 | 4:28 PM

COLOMBO (News 1st) - මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් සොයා ගැනුණු කිලෝග්‍රෑම් 177 ක හෙරොයින් තොගය ඇෆ්ගනිස්ථානයෙන් සහ පකිස්ථානයෙන් මේ වසරේ ජනවාරි මාසයේ මෙරටට එවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 කට අධිකය. මේ සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඔවුන් අදාළ කුලී නිවසේ හිමිකරුවන් වේ. පොලීසිය සඳහන් කළේ, අදාළ නිවසේ තිබී ටී. 56 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 2803 ක්, ස්වයංක්‍රිය පතොරොම් අවියක්, ජපානයේ නිෂ්පාදිත පිස්තෝලයක්, 9 mm වර්ගයේ පතොරොම් 91 ක් සිය භාරයට ගත් බවයි. ඊට අමතරව බෝර 12 FG පතොරොම් 234 ක්, රම්බෝ පිහියක්, අත්විලංගුවක්, විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් 10 ක්, ජංගම දුරකතන 25 ක් ද සොයා ගත් බවයි. විවිධ සිම් කාඩ් පත් 129 ක්, බොරු කොණ්ඩ 02 ක් සහ මුදල් රුපියල් 31, 830 ක් ද පොලීසිය භාරයට ගත් භාණ්ඩ අතර වේ. නිවසෙන් තිබී හමු වූ එම සියලු නඩු භාණ්ඩ අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී හමු වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයේ දර්ශන සහිත සංයුක්ත තැටියට මේ වන විට මුද්‍රා තබා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. සඟවා තිබු හෙරොයින් තොගය පිළිබඳ තොරතුරු අණාවරණය වී ඇත්තේ රුපියල් කෝටි 500 ක් පමණ වටිනා බව කියන දියමන්තිය සොරා ගත් බව කියන කැලුම් ඉන්දික නොහොන් කැවුමා නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි. ඔහු එම නිවසේ කලක් පදිංචිව සිට ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. දැනට අත්අඩංගුවේ සිටින කැලුම් ඉන්දික නොහොත් කැවුමා මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි. පොලීසිය පැවසුවේ, වැටලීම කළ නිවස පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ආරක්ෂාව සඳහා යොදා ගත් නිවසක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.