අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 12-03-2019 | 6:16 PM

COLOMBO (News 1st) - 2019 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් අද පස්වරුවේ සම්මත විය

අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි. විපක්ෂව ලැබුණේ, ඡන්ද 76ක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ආචාර්ය සරත් අමුණුගම, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සභාවේ නොසිටියහ. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 13 දෙනෙක් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්දය ලබා දුන්හ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 5 වන දා 2019 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙවර අයවැය නම් කර තිබුණේ 'ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය දෙන' අයවැය ලෙසයි. 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550කි. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. අයවැය තුන්වන වර කියවීමේ කමිටු විවාදය හෙට සිට ලබන අප්‍රේල් 5 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය. අප්‍රේල් 5 වන දා සවස අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.