ABU කමිටු සභාපතිත්වයක් MTV/MBC මාධ්‍ය ජාලයට

by Hashini De Mel 11-03-2019 | 5:18 PM

COLOMBO (News 1st) - ආසියා ශාන්තිකර කලාපීය ගුවන් විදුලි හා රූපවාහිනි සන්නිවේදකයින්ගේ සංගමයේ බුද්ධිමය දේපොළ හා නීති කමිටුවේ සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමිවිය.

ඒ, එහි තුන්වැනි සම්මේලනයේ සමාරම්භක උත්සවයේදීයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා එම කමිටුවේ සභාපතිත්වයට සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ නීති හා මානව සම්පත් සමූහ අධ්‍යක්ෂ සුරංග ජයලත් මහතා අද පත්කර ගැණුනි. ආසියා ශාන්තිකර කලාපීය ගුවන් විදුලි හා රූපවාහිනි සන්නිවේදකයින්ගේ සංගමය මෙම සම්මේලනය සංවිධානය කරන අතර එහි සත්කාරකත්වය දරන්නේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය සහ MTV/ MBC චැනල් පුද්ගලික සමාගමයි. මෙම සංගමයේ සාමාජිකයින් සංඛ්‍යාව 200 කට අධිකය. මීට පෙර ආසියා ශාන්තිකර කලාපීය ගුවන් විදුලි හා රූපවාහිනි සන්නිවේදකයින්ගේ සංගමයේ බුද්ධිමය දේපොළ හා නීති කමිටුවේ සභාපතිත්වය දැරුවේ චීනයේ ආචාර්ය යැන් බෝ මහතායි.