ලාංකිකයෙක් අමෙරිකානු සරසවියක ගෝලීය උපදේශක කමිටුවකට

ශ්‍රී ලාංකිකයෙක් අමෙරිකානු සරසවියක ගෝලීය උපදේශක කමිටුවකට පත් කෙරේ ‍

by Staff writer 11-03-2019 | 2:13 PM
COLOMBO (News 1st) : ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන සම්බන්ධතා පිළිබඳ වොට්සන් ආයතනයේ ගෝලීය උපදේශක කමිටුව සඳහා කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා පත්කර තිබේ. 1764 වර්ෂයේදී ආරම්භ කළ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ලොව ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විශ්වවිද්‍යාලයක් සේ සැලකෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජනපද නාවික හමුදා විද්‍යාලය සහ දේශසීමා සහිත වෛද්‍යවරුන් යන ආයතනවල ඉහළ පෙළේ සාමාජිකයින් මෙම ගෝලීය උපදේශක කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි. මානවවාදී නවෝත්පාදනය සඳහා වූ HI2 වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්වලදී ශාස්ත්‍රාලීය සහ ප්‍රායෝගික පාර්ශවයන් අතර මනා සම්බන්ධතාවක් ගොඩනගමින් තිරසාර සහ කාර්‍යක්ෂම ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම මෙම කමිටුවේ අරමුණ වේ. ගෝලීය වශයෙන් ඉදිරි වසරවලදී ඇතිවන හදිසි තත්වයන් කළමනාකරණය කරගැනීම සඳහා දායකත්වය සැපයීම බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ අරමුණකි. දේශගුණික වෙනස්වීම් නිසා බලපෑමට ලක්විය හැකි රටවල් ලයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ ඇති ශ්‍රී ලංකාව අනාගතයේදී මුහුණ දෙන හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා බුද්ධිමය දායකත්වය සැපයීමට අවශය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට ශෙවාන් ඩැනියල් මහතාට මෙම කමිටු සාමාජිකත්වය හිමිවීමත් සමග හැකියාව ලැබෙනු ඇත.