by Staff writer 11-03-2019 | 8:02 PM
COLOMBO (News 1st) - අද ස්ථාන කිහිපයකදී විවිධ ගැටලු මුල් කරගෙන ජනතා විරෝධතා පැවැත්විය.
එහි විශේෂත්වයක් වූයේ, ඒවා විසඳීමට මැදිහත් වූ දේශපාලඥයින්ට ද ජනතාවගේ විරෝධය පළවීමයි.
අනුරාධපුර, තලාව ප්‍රධාන මාර්ගය, ජය ගඟ ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූයේ වන අලි ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලමිනි.
නොච්චියාගම හා තඹුත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල ජනතාව වන අලි උවදුරෙන් පීඩා විඳින්නේ දිගු කාලයක සිටයි.
එම නොවිසඳුණු ගැටලුවේ ආසන්නතම ගොදුර පසුගිය මස 10 වන දා වාර්තා විය.
අද තඹුත්තේගම හා නොච්චියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල ජනතාව මහා පාරට පැමිණියේ බලධාරීන් කොතෙක් දැනුවත් කලත් විසඳුමක් නොමැතිවීම හේතුවෙනි.
පිරිස පැවසුවේ, ප්‍රදේශීය ලේකම්වරයා හෝ දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණ විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතාවයේ නිරත වන බවයි.
වගකිව යුතු නිලධාරියෙකු එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන් ඔවුන් අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගය තලාව ජය ගඟ ප්‍රදේශයෙන් අවහිර කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා එම ස්ථානයට පැමිණියේ ය.
පිරිස විසිර ගියේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා පැමිණ මාස තුනක් ඇතුලත ස්ථීර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් පසුවයි.
මේ අතර මඩකලපුව, වව්නතිව් ජල සම්පාදන ක්‍රමයේ පවිත්‍රාගාරය අසළ අද පිරිසක් විරෝධතාවයේ නිරත විය.
ඒ, උන්නිච්චියිකුලම ගම්මානයට ජලය ලබා දෙන්නැයි ඉල්ලමිනි.
උන්නෙච්චියිකුලම් ගම්මානය අසන්නයේ පිහිටා ඇති වැවේ සිට මඩකලපුව දිස්ත්‍රික්කයට ජලය බෙදා හැරිය ද තම ගම්මානයට තවමත් පිරිසදු පානීය ජලය නැතැයි මේ ජනතාව ප්‍රකාශ කළහ.
විරෝධාතාව අතරතුර එම ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා පැමිණීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.
ජනතාව ශ්‍රී නේෂන් මන්ත්‍රීවරයාට විරෝධය පළ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සීනිත්තම්බි යෝගේශ්වරන් මහතා සමග නැවත එම ස්ථානය පැමිණියේ ය.
එම අවසථාවේදී විරෝධතාකරුවන් හා මන්ත්‍රීවරුන් දෙපළ අතර ඇති වූයේ උණූසම් තත්ත්වයකි.
ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් දෙපළ මාධ්‍යයට අදහස් දැක්වීමට උත්සාහ කළ අතර එයට ද විරෝධතාකරුවන් ඉඩ ලබා දුන්නේ නැත.
මේ අතර රටේ ජනතාව මත අසීමිත බදු පටවා පාලකින් සැපවත් ජීවිතගත කරන බව පවසමින් පුද්ගලයෙක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගසකට නැග විරෝධය පළ කළේ ය.
අනතුරුව කොටුව පොලීසියේ නිලධාරීන් පැමිණ ඔහු ඉවත් කිරීමට පියවර ගත්තේ ය.
ලාංකීය ජනතාව දේශපාලඥයින් පිළිබඳව පොදුවේ සිතන්නේ මෙසේයි.
ඔවුන්ගේ යටි අරමුණ පිළිබඳව ජනතාව හොඳින් දනී...