මොරටුවෙන් රු. මිලියන 1800 හෙරොයින් තොගයක් හමුවෙයි

by Hashini De Mel 11-03-2019 | 3:55 PM

COLOMBO (News 1st) - මොරටුව, රාවතාවත්තේ නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 150 කට අධික තොගයක් සොයා ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 ක් පමණ වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, අදාළ නිවසේ තිබී ටී 56 ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ 3000 කට අධික ප්‍රමාණයක් සහ පිස්තෝලයක් සිය භාරයට ගත් බවයි. මෙම හෙරොයින් තොගය පිළිබඳ තොරතුරු අණාවරනය වී ඇත්තේ රුපියල් කෝටි 500 ක් පමණ වටිනා බව කියන දියමන්තිය සොරා ගත් බව කියන කැලුම් ඉන්දික නොහොන් කැවුමා නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු එම නිවසේ කලක් පදිංචිව සිට ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. දැනට අත්අඩංගුවේ සිටින කැලුම් ඉන්දික නොහොත් කැවුමා මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි. පොලීසිය පැවසුවේ, වැටලීම සිදු කළ නිවස පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ආරක්ෂාව සඳහා යොදා ගත් නිවසක් බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි. මීට අමතරව පසුගිය මාසයේ කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමක් ඇති මෙරටින් හමු වූ විශාලතම හෙරොයින් තොගය හමුවිය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයාගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් වේ.